අයිවෝ ඩෙනිස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු

අයිවෝ ඩෙනිස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු

අයිවෝ ඩෙනිස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු

ඒ මීට දසකයකටත් වඩා එ පිට නුදුරු අතීතය යි. මෙ කල මෙන් එ කල ද මම උදයෙන් ම පිබිදීමට මැළියෙක්මි. එ හෙත් වේලාව නො වරදවා පාසල් යා යුතු බැවින් අම්මා කෙසේ හෝ මා පුබුදුවයි. ඇය ඊට යෙදූ ප්‍රධානතම ප්‍රයෝගය වූයේ රූපවාහිනියයේ උදා විකාශය යි. එ වක් පටන් ම අප ගේ රූපවාහිනිය තුබුණේ නිදන කාමරයේ ය. ඒ නැශනල් වර්ගයේ කුඩා කළු සුදු රූපවාහිනියෙකි. උදේ පහ යි තිහට පමණ ජාතික රූපවාහිනියේ විකාශය ආරම්භ වන බව අම්මා දනී. ඒ නිසා ඕ තොමෝ ඒ වේලාවට රූපවාහිනිය ක්‍රියාත්මක කරයි. මුලින් ම විකාශය වන්නේ පඤ්ච සීලය ආදිය යි. මම ඊට නෑසූ කන් ව නිදමි. මා අවදි වන්නේ අනතුරු ව විකාශය වන දේශාභිමානී ගීතාවලිය සමඟිනි. අයිවෝ ඩෙනිස් ගැනත් ප්‍රියන්ත ප්‍රනාන්දු ගැනත් මා ගේ ආදිතම අනුස්මෘතීන් සම්බන්ධ වන්නේ මේ දේශාභිමානී ගීතාවලියට ය.

දේශාභිමානී ගීතාවලිය ඇරැඹුණු පසු මම ඇඳේ දිගැදී ම එය නරඹමි. එහි නිතොර වාදනය කැරුණු ගීතාවලිය අතර අයිවෝ ඩෙනිස් ගේ ‘ලංකා ලංකා’, ප්‍රියන්ත ප්‍රනාන්දු ගේ ‘හෙළ ජාතික අහිමානේ’, මොරිස් දහනායක ගේ ‘තම්බපණ්ණි ජන්ම භූමි’, දයාරත්න රණතුංග ගේ ‘ජය සිරි මා බෝධි’, අබේවර්ධන බාලසූරිය ගේ ‘මං නැති දා මේ රට ඔබට යි’, සුනෙත් වල්පොළ ගේ ‘උත්තම මුනි දළදා’, ජී. ඇස්. බී. රාණි පෙරේරා ගේ ‘ජන මන නයන වශී කළ ලංකා’, නන්දා මාලිනී ගේ ‘උඩඟු ලියන් ගොතා බඳින’, ලතා වල්පොළ ගේ ‘පෙරදිග මුතු ඇටය යි’, අමිතා වැදිසිංහ ගේ ‘සෙන්කඩගල පුර දළදා බුදු රැස්’ ආදි ගීත තිබිණි. මම දින පතා ම මහත් ආසාවෙන් මේ දේශාභිමානී ගීතාවලිය අසමි. එහි වූ සියල් ගී අතුරින් මා සිත තදින් ඇද බැඳ ගත්තේ මෙහි මුලින් ම සඳහන් කළ අයිවෝ ගේ ‘ලංකා ලංකා’ ගීතයත් ප්‍රියන්ත ගේ ‘හෙළ ජාතික අභිමානේ’ ගීතයත් ය.

බතික් කම්සයෙකින් හැඩ වුණු අයිවෝ ඩෙනිස් අසූව දසකයේ පිත්තල බෑණ්ඩ් එකක් සමඟ රූපවාහිනි මැදිරියෙක ‘ලංකා ලංකා’ ගයන සැටිත්, කළු කබායෙකින් හැඩ වුණු ප්‍රියන්ත ප්‍රනාන්දු නව සහස්‍රකයේ ඉලෙක්ට්‍රොනික බෑණ්ඩ් එකක් සමඟ නිදහස් චතුරස්‍රය ඉදිරි පිට ‘හෙළ ජාතික අභිමානේ’ ගයන සැටිත් මා මනසෙහි කවර මොහොතෙක වුව නිරායාසයෙන් ම චිත්‍රණය කොටගත හැකි ය. එ වක මම ඒ ගී එ තරම් ම රස වින්දෙමි. දැන් ය කියා වෙනසක් නැත. ඒ ගීත ද්වයෙයෙහි ම බොහෝ තැන් කුඩා මට වැටැහිණි. අයිවෝ ඉද්ද ගැසුවා සේ හිටගෙන ‘අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා’ යි කියන විටත්, ප්‍රියන්ත දකුණතේ දබරැඟිල්ල ඉහළට ඔසවා ‘පැරකුම් යුගයක් නැවැතත් අරඹවු නිජ භූමි තලේ ලංකා’ යි කියන විටත් මා ගේ ලොමු දැහැ ගැන්විණි. මම ඒ අරුත් ඉතා ළැදි ව හිතේ රුවාගත්තෙමි.

අයිවෝ ඩෙනිස් මෙන් ම ප්‍රියන්ත ප්‍රනාන්දු ද වැඩියක් ම ගායනා කෙළේ ඔවුන් ගේ ස්වතන්ත්‍ර නිර්මාණ නොවන බව එ වක පටන් ම මම දැන සිටියෙමි. අයිවෝ ගැයුවේ සිය ගුරුවරයා වූ සුනිල් සාන්ත ගේ ගීත ය. ප්‍රියන්ත ගැයුවේ සිය පියා වූ සී. ටී. ප්‍රනාන්දු ගේ ගීත ය. මා මෙන් ම මා අයත් පරපුරේ කවුරුනුත් පාහේ සුනිල් හඬත් සී. ටී. හඬත් ඇසුවේ ඔවුන් ගේ අනුප්‍රාප්තිකයන් දෙදෙනා ගෙනි. ඒ අනුව හැත්තෑ හතේ දරුවනට සිංහල ගීත සාහිත්‍යයේ මහා පුරුෂයන් දෙදනකු සමීප කැරැවීම පිළිබඳින් අයිවෝ ඩෙනිස්ටත් ප්‍රියන්ත ප්‍රනාන්දුටත් ඒ පරපුරේ ගෞරවය හිමි විය යුතු ය. අදටත් මා ගේ ප්‍රියතම ගායකයන් නම් කරන්නැ යි යමකු කීවොත් මා නම් කරන්නේ සී. ටී. ප්‍රනාන්දු, සුනිල් සාන්ත, ක්ලැරන්ස් විජේවර්ධන යන ශිල්පීන් තිදෙනා ය. මා ගේ රුචිකත්වයේ අනුක්‍රමය පෙළ ගස්වන්නේ මෙ සේ වුව ද ඓතිහාසික ප්‍රමුඛතාව අනුව නම් මුලට ආ යුත්තේ සුනිල් සාන්ත ගේ නම ය.

සුනිල් සාන්ත, සී. ටී. ප්‍රනාන්දු, ක්ලැරන්ස් විජේවර්ධන යනු සිංහල ගීත සාහිත්‍යයේ එක ම ධාරාවෙකින් උද්භව වී ස්වාධීන ප්‍රවාහ තුනක් බිහි කළ ශිල්පීහු තිදෙනෙකි. ඔවුන් ගේ සංගීත විෂයක පරමාර්ථ අතර යම් විෂමතා තුබුණ ද ඔවුන් ගේ භාෂා සංගීත ව්‍යවහාරවල මහා පොදු සාධක කිහිපයක් ම දැන් මට පෙනේ. මේ වනාහි ඉතා දීර්ඝ වසයෙන් වෙන ම සාකච්ඡා කළ යුත්තෙකි. මීට දසකයටත් ඉහත කුඩා මා ඔවුන් ගේ නිර්මාණ වෙත ආසක්ත වූයේ මෙ කී මහා පොදු සාධක පිළිබඳ පණ්ඩිත අවබෝධයෙකින් නො වේ. ඒ ආසක්ත භාවය ඇති වූයේ ඔවුන් ගේ නිර්මාණවල නිතර පුනරුක්ත වෙතැ යි තිස්ස අබේසේකර පෙන්වා දෙන ස්වර වගන්ති කිහිපයක් නිසා විය හැකි ය. පෙරදිග ශාස්ත්‍රීය සංගීත රිද්මයනට වඩා මට හැම දා ම ආස්වාදනීය වූයේ අපරදිග සරල සංගීත රිද්මයන් ය. ඒ සංගීත රිද්මයන්හි කුමක් දෝ අනිර්වචනීය ආත්මීය භාවයක් මට දැනේ.

අයිවෝ ගැනත් ප්‍රියන්ත ගැනත් ලියන්නට ගත් මේ සටහන ඔවුන් දෙදෙනා ද පසු කොට ඔවුන් ගේ පුරෝගාමීන් වෙත ඇදුණේ නිතැතිනි. ඒ පුරෝගාමින් ගැන සඳහන් නො කොට මේ දෙදෙනා ගැන කතා කළ නොහැකි ය. එ හෙත් අයිවෝ මෙන් ම ප්‍රියන්ත ද හුදෙක් ම සිය පුරෝගාමීන් ගේ හඬ ප්‍රතිරාව නැංවූ ‘හිස් මාස්ටර්ස් වොයිස්’ දෙකක් නුවූ බව වෙසෙසින් සිහි තබාගත යුතු ය. අයිවෝ ඩෙනිස් ස්වතන්ත්‍ර ගීත රාශියක් ගායනා කෙළේ ය. ‘කුරුලු පරාදීසයේ’, ‘අනුරාපුර පොලොන්නරුව’, ‘අභිමානනීය වූ නවෝදයේ’ ආදියත් ප්‍රේමසිරි කේමදාස ගේ සංගීතයට තවත් ශිල්පීන් සමඟ ගැයූ ‘හඳුනාගත්තොත් ඔබ මා’, ‘අඳුරු කුටිය තුළ’, ‘සෙල්ලම් කුට්ටමේ රජුන් හතර දෙනා’ ආදියත් අයිවෝ ගේ ස්වීය දක්ෂතාවට නිදර්ශන යි. ප්‍රියන්ත ප්‍රනාන්දු ද ස්වතන්ත්‍ර ගීත ගණනාවක් ම ගායනා කෙළේ ය. ඒ අතර ‘වෙරළේ මුහුදු වැල්ලේ’, ‘නිරංජලා කාට දෝ’, ‘දවස ගෙවේ ඔබ තාමත් නෑ ආවේ’, ‘කඳු අතර රඟන්නා’, ‘ඉහළ ගමේ යාළුවේ’ ආදිය ජනප්‍රිය විය.

සිංහල ගීත සාහිත්‍යයේ ආදේශක සම්ප්‍රදායයේ පුරෝගාමීහු ද මේ දෙදෙනා වෙත්. සුනිල් සාන්ත දිවමන් ව සිටිය දී ම ස්වකීය ආදේශකය ලෙස අයිවෝ යොදාගත්තේ ය. වෙනත් ශිල්පීන් ගේ ගීත ඒ හා සමීප හඬින් ගයන අඥාතික ගායකයන් කාටත් පූර්වාදර්ශය වූයේ අයිවෝ ඩෙනිස් ය. ප්‍රියන්ත ප්‍රනාන්දු ඉතා ළා බාල වියේ දී ම සී. ටී. ප්‍රනාන්දු ගේ ආදේශකය ලෙස ඉස් මතු වූයේ සී.ටී. ජනප්‍රියත්වයෙහි මුදුන් ඉමෙහි සිටිය දී නොකල් මරණයකට මුහුණ පෑ නිසා ය. පියා ගේ ගී ගැයීමෙන් වෘත්තීය ගායකයන් බවට පත් වූ සියලු ම ගායක පුත්‍රයන් හට පූර්වාදර්ශය වූයේ ප්‍රියන්ත ප්‍රනාන්දු ය. මේ නයින් ගත් කල අයිවෝ ද ප්‍රියන්ත ද සිංහල ගීත සාහිත්‍යයේ ප්‍රවණතා කාරකයෝ දෙදෙනෙක් වෙති. එ හෙත් මේ ගැඹුරු හඬවල් දෙකෙන් ම වැඩ ගත්තා මදි බව මා ගේ කල්පනාව යි.

ඉස්සර මෙන් අයිවෝ ඩෙනිස් ගේ ‘ලංකා ලංකා’ ගීතයත් ප්‍රියන්ත ප්‍රනාන්දු ගේ ‘හෙළ ජාතික අභිමානේ’ ගීතයත් ඇසීමට මම දැන් උදයෙන් නො පිබිදෙමි. යූ ටියුබයෙන් බාගත් ඒ ගීත දෙක දැන් මා ගේ පරිගණකයේ තිබේ. කැමැති ඕනෑ ම වේලාවෙක ඇසිය හැකි ය. ඒ නිසා මා දැන් හැම දා ම පාහේ පිබිදෙන්නේ පරක්කු වෙලා ය.

– ක. ක. ගනුෂ්ක රන්දුල

Submit your review
1
2
3
4
5
Submit
     
Cancel

Create your own review

අයිවෝ ඩෙනිස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු
Average rating:  
 0 reviews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *