හිට්ලර් ගේ ළමා කාලය (1889-1903)

1. හිට්ලර් ගේ ළමා කාලය (1889-1903)

හිට්ලර් ගේ ළමා කාලය (1889-1903)

බිළිඳු ඇඩොල්ෆ් 1890-1891 (දිනය අපැහැදිලිය)
බිළිඳු ඇඩොල්ෆ් 1890-1891 (දිනය අපැහැදිලිය)

බෲනෝ-ඈම්-ඉන් නැමති වයඹ දිග ඔස්ට්‍රියාවේ ජර්මන් දේශසීමාව මත වූ කුඩා නගරයට 1889 අප්‍රේල් 20 වැනි දා වැහිබර සෙනසුරාදාවකි. වර්ග සැතපුම් දහයක් වූ එහි බහුලව වෙසෙන වාර්ගික ජර්මන් වරු සූදානම් වෙමින් සිටියේ පසු දිනට එලැඹෙන පාස්කු මංගල්‍යය සඳහාය. ‘ඉන්’ නදිය හරහා ඔස්ට්‍රියාව හා අසල්වැසි ජර්මනියේ බැවේරියානු ප්‍රාන්තය යාකෙරෙන දැවැන්ත යකඩ පාලමක් ඇත. අසල වූ වොර්ස්ටැඩ් වීථියේ තට්ටු ගොඩනැගිල්ලක ඉහල මාලයේ කැරකැවූ උඩු රැවුලක් සහිත මැදිවියේ බේබදු රේගු මුළාදෑනියෙක් පදිංචිව සිටී. ඔහුගේ නම ඇලොයිස් හිට්ලර්ය. ලෙඩ රෝග වලට ගොදුරු වීම නිසා වැඩිමහල් දරුවන් තිදෙනාම ඔවුන් කුඩා කලම අහිමිව සිටි ඔහුගේ තරුණ තෙවැනි බිරිඳ එදින සවස් යාමයේ තවත් පුතකු වැදුවාය. අඩු බරින් යුත් දරුවා දුර්වලය. ප්‍රසූතියට අධාර පිණිස ගෙන්වාගත් තරමක් අඥාන වින්නඹුව අළුත උපන් බිළිඳා උපන්ගෙයිම මිය යනු ඇතැයි නිකරුනේ සැක පහළ කළේ එතැන් පටන් සතලිස් වසක් ගතවූ තැන ඔහු රට ආණ්ඩු කරන වග නොදැනයි.
කතෝලික පල්ලියේ බෞතීස්ම ලේඛණයට අනුව ඔහුගේ නම ලියාපදිංචි වූයේ ඇඩොල්ෆ් හිට්ලර් ලෙසය.
දරුවා සිය මවගේ නිල් පැහැති ගැඹුරු දෑස උරුම කොටගෙන සිටියේය.

නොබෝ කලකින්ම රේගු නිළධාරී ඇලොයිස් හිට්ලර් සිය පවුල සමඟ ඩැනියුබ් ගඟ අසබඩ පිහිටි රමණීය නගරයක් වූ ලින්ස් හි පදිංචියට පැමිණියේය. ඔවුන් පදිංචි වූයේ හැම්බෝල්ඩ්ට් වීථියේ අංක 31 දරණ ස්ථානයේ වූ නිවසක තෙවැනි මහලේය. ජීවීතයේ නිරන්තර වෙනස් කම් සඳහා වූ ආශාව ඇලොයිස් හිට්ලර් තුල වූ උමතුවක් වැන්න. හේ සිය පවුල් සංස්ථාව තෙවරක්ම යලි හැඩගැන්වීය. තමාට වඩා විසිතුන් අවුරුද්දක් වයසින් බාල තෙවැනි මනාලිය නෑ කමින් ලේලියක් වූ බැවින් විවාහය සඳහාමැවර පල්ලියේ විශේෂ අවසරය පැතීමටද ඔහුට සිදු විය. හමුදා කපිතන් වරයකුට සමාන තම නිළය නිසා බොහෝ හිස උදුම්මවාගෙන සිටි ඔහු සැර පරුෂය; කිපෙන සුළුය. 1896 ඔහුගේ බිරිඳ දියණියක් ද වැදුවාය. නිහඬ ලස්සන දැරියක් ඇගේ නම වූයේ පෝලාය.
පසු කළෙක හිට්ලර් තමාගේ උපන් ගම ලෙස සැලකුවේ බෲනෝ-ඈම්-ඉන් නොව ලින්ස් නගරයයි.
තම එකම පුත් ඇඩොල්ෆ් අනාගත සිවිල් සේවකයකු වනු දැකීමට මහල්ලා තරයේ අදිටන් කොට ගෙන සිටියේය. හැබ්ස්බර්ග් පාලනයට ඉමහත් ලැදිව සේවය කල ඔහුගේ උඩු රවුළද ෆ්‍රාන්ස් ජොසොෆ් අධිරාජයා මෙන් ඉහලට කරකවා ඇත. ජීවිතයේදී මිනිසෙකුට මෙළොව ලැබිය හැකි ඉහලම සැපත සිවිල් සේවයට ඇතුල්වීමේ වාසනාව යැයි ඔහු විශ්වාස කළ අතර පරළොව ගැන සිතීමට කොහෙත්ම කරදර නොවීය. ඔහුගේ විනෝදාංශ වූයේ වයින් පානය කිරීම හා මීමැසි පාලනයයි.

පාසල් වියේ හිට්ලර් 1903-1904 ( දිනය අපැහැදිලිය)
පාසල් වියේ හිට්ලර් 1903-1904 ( දිනය අපැහැදිලිය)

පියාගේ නොනිමි කන්දොස්කිරියාවට පින්සිදු වෙන්නදෝ යන්තම් කරදඬු උස්මහත් වන විටම පුතාට සිවිල් සේවය ගැන ඇසීම පවා අරහංය. සුදු කරපටි රැකියා පිළිකුල් කල හිට්ලර්ගේ අදහස වූයේ සිවිල් සේවකයන් යනු කිසිදු වැදගැම්මකට නැති මුග්ධයන් පිරිසක් බවය. ඔහු ගේ සිහිනය චිත්‍ර ශිල්පියෙකු වීමය.
“මොනවා? සිත්තරෙක් වෙන්න? උඹ මගෙ මූනෙ දැලි ගාන්නද හදන්නෙ? ඒවා හරියන්නෙ නෑ පුතෝ මම ඉන්නකම්…” ඒ ඇසූ පියා වියරුවෙන් මෙන් ගර්ජනා කළේ වැරෙන් අඩි පොළොවේ හප්පමිනි. මව හා කුඩා නැගණිය බියෙන් සලිත වූහ. ඔහුගේ දොළොස් හැවිරිදි පුතා ඒ කිසිවක් ගණනකට නොගත්තේය. මවගේ දෑස් පමණක් නොව පියාගේ චරිතයේ වූ දැඩි බවද එමෙන් සිය දහස් වාරයක් බලවත්ව පුතා තුල පිහිටා ඇති සැටියකි. පියාගේ ගෝරනාඩු නෑසූ කනින් ඔහු කිසියම් වෙනත් නොවැදගත් වැඩක යෙදී සිටී.
නිදහස ප්‍රිය කල හිට්ලර්ට සිප්හල මෙන්ම දිසාපාමොක්වරුද වහ කදුරු මෙන් තිත්තය. දුර්වල පාසැල් වාර්තාවක් සහිත ඔහු කෙරේ ගුරුවරුද පැහැදීමකින් පසු නොවූහ; හේ නාහෙට නාහන දඩබ්බර කොල්ලෙකි. සෙස්සන් ගෙන් වෙන්ව හුදෙකලාවේ සිටීමට කැමැත්තක් දැක්වූ ඔහුගේ ප්‍රියතම විෂය වූයේ ඉතිහාසයයි.

හිට්ලර්ගේ දෙමාපියන් - ක්ලාරා සහ අලොයිස් . හිට්ලර්ගේ දෑස් බෙහෙවින් තම මවට සමාන වූ බව පැවසේ.
හිට්ලර්ගේ දෙමාපියන් – ක්ලාරා සහ අලොයිස් . හිට්ලර්ගේ දෑස් බෙහෙවින් තම මවට සමාන වූ බව පැවසේ.

එක්දහස් අටසිය හැත්තෑවේ ප්‍රංශ-ප්‍රසියන් යුද්ධය ගැන ලියැවුන බරැති වෙළුම් ගණනාවක් ඒ වන විටත් ඔහු කියවා හමාර කොට සිටියේය. තම සිත තුල ජාත්‍යානුරාගයේ ගිණි සිළුව දැල්වූයේ ලින්ස් හි තාක්ෂණික පාසලේ ඉතිහාස ගුරුවරයා වූ ආචාර්ය ලියෝපොල්ඩ් පෝට්ෂ් විසිනැයි හිට්ලර් නොයෙක් විට පවසා ඇත. සර්ව-ජර්මන් වාදියකු වූ පොට්ෂ් ඔස්ට්‍රියව හා ජර්මනිය හා එක්විය යුතු යැයි දැඩිව ඇදහූවෙකි.
හිට්ලර් සිය ජීවිත කාලය මුළුල්ලේ පොට්ෂ් ට කෘතඥ විය. නවසිය තිස් අටේ යුද්ධයට ලක ලැහැස්තිවෙමින් සිටියදී සිය ඇදුරා දැක බලා ගැනීමේ සිතක් හදිසියේම ඔහුට උපන. විශ්‍රාමික ගුරුවරයා ගේ ක්ලැගන්ෆර්ට් හි කුඩා නිවසට පැමිණෙන විට නිවෙස් හිමියා පසුවූයේ අසනීපයෙනි. තනිව කාමරයට ඇතුළුවී දොර වසාගත් විධායක-චාන්ස්ලර් තැන අසූපස් හැවිරිදි මහල්ලා සමඟ වී පුරා පැයක් හිඳ සැනසුම් බස් තෙපලේය.
ආපසු එන ගමනේ දී මේ අවදානම් සහගත ක්‍රියාව පිළිබඳ නොසතුට පළකල එස්. එස්. නිළධාරියෙකුට ඔහු දුන්නේ අපූරු පිළිතුරකි. “ඒ වයසක මනුස්සයට මම මොනතරම් ණයගැතිද? තමුසෙලට ඒ ගැන හිතා ගන්නවත් බැහැ.”

 

1903 දුරුතු මස 03 දින හරියට උදේ දහයට සුපුරුදු ලෙස තැබෑරුමට ගොඩ වැදුන හිටපු රේගු නිළධාරී ඇලොයිස් හිට්ලර් වයින් වීදුරුවක් පානය කිරීමෙන් අනතුරුව මුර්ඡා වී හුනස්නෙන් බිම ඇද වැටුනේ කපා හෙළූ කඳක් මෙනි. වෙදෙකු හෝ පූජකයකු කැඳවීමට පොරොතුවම හේ මියගොස් සිටියේය.
ඒ වනවිට ඇඩොල්ෆ් හිට්ලර් ගේ වයස දහ හතරකි. සිය පියාගේ සිරුර දුටු ඔහු කදුළු සලමින් වැලපුනේය.

චාමර සිරිවර්දන
Submit your review
1
2
3
4
5
Submit
     
Cancel

Create your own review

හිට්ලර් ගේ ළමා කාලය (1889-1903)
Average rating:  
 0 reviews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *