නික්ම යාම

නික්ම යාම

නික්ම යාම – නිවීයන යුද ගිණි දැල් අතරින් පිටව යන සිරියාවේ ‘ජිහාඩ්’ වරු දුටුවෙමි.

(ඉරාකය හා ලිබියාව ඇතුළු රටවල් ගණාවක ඉස්ලාමීය මූලධර්මවාදය හරහා ප්‍රජතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ ‘අරාබි වසන්තය’නම් බටහිර වැඩසහන සිරියාවේ දී ඛේදජනක ලෙස අසාර්ථක වූයේ දශක දෙකහමාරක කාලයක් මැදපෙරදිග කලාපය තුල පැවති ඇමෙරිකා එක්සත් ජනපදයට හිතවත් දේශපාලන සමතුලිතතාවය යලි‍ ප්‍රකෘත කල නොහෙන සේ බිඳ හෙලමිනි. තෙවසරකට පෙර පරාජය අභිමුව සිටි සිරියානු නායක බෂාර්-අල්-අසාද් ට පක්ෂපාත හමුදා අයි. එස්., අල්-නුස්රා, ඇතුළු භයානක මූලධර්මවාදී කණ්ඩායම් ගණනාවකට එරෙහිව ලද තීරණාත්මක ජයග්‍රහණ මාලවකින් අනතුරුව, නිරිත දිග සිරියාවේ අවසන් කැරලි කාර බලකොටුව වූ ජායිෂ්-අල්-ඉස්ලාම් නම් සංවිධානයේ පාලනය යටතේ වූ ගොවුටා නගරයට ඇතුළු වූයේ පසුගිය සතියේය. සිරියානු රජයේ අවසන් දැනුම් දීම හමුවේ දස දහස් සංඛ්යාත සටන් කාමීන් සිය අඹු දරුවන්ද සමඟ නගරයෙන් පිටව යද්දී එහි රැදී සිටින ‘ද ඉන්ඩිපෙන්ඩන්ඩන්ට්’ සඟරාවේ රොබර්ට් ෆිස්ට් විසින් ලියූ වාර්තාවකි.)

Image may contain: 2 people, people standing

ගොවුටා නුවර සටන් කාමීන් සිය පවුල් ද සමඟ දස දහස් ගණනින් නික්ම යති. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගේ උරහිස් මතින් උණ්ඩ රහිත මල කෑ කැලෂ්නිකොව් රයිපලයක් තවමත් එල්ලා වැටේ. වානේ හිස්වැසුම් පැලඳ තැන තැන සිටින රුසියන් සොල්දාදුවන් ගේ උකුසු ඇස් ඔවුන් මත එල්ල වී ඇත. දැවී පිළිස්සී ගිය භූමිය මත වූ කොල රහිත ගසක් පාමුල දණින් වැටෙන ඇතැම් සටන් කරුවෙක් අහස දෙස නෙත් යොමා යාඥා කරන්නේ එපිටින් වූ සුන්බුන් ගොඩනගිල්ල තුල සිටින අඹු දරුවන් ගමනට සූදානම් වන අතර තුරදීය.
ඔවුන් නගරයෙන් පිටතට ගෙන යාම සදහා සූදානම් කෙරුන සුඛෝපභෝගී සංචාරක බස් රථ දුසිම් ගණනාවක් අසල නවතා තිබිණ. ගතවූ සති කිහිපයේ සටන් පවතින අතරතුර ආවරණය කොට ගෙන සිටි සිය මුහුණු සැඟවීමට මෙම ඉස්ලාමීය සටන්කරුවෝ තව දුරටත් තැත් නොකලහ. චිලී රටේ නිෂ්පාදිත ‘පුල්මන්’ බස් රථවල ‘ සුභ ගමන්’ හෝ ‘සීග්‍රගාමී ප්‍රවාහන සේවය’ වැනි වැකියක් දක්නට විය. එක් බසයක පිටුපස වීදුරුවේ ‘ ප්‍රභූන් සඳහා වෙන් කොට ඇත’ යනුවෙන් ඉංග්‍රීසි හා ලතින් බසින් සටහන් කොට තිබිණ. එය නම් දෛවයේ සරදමකි.

ශාපලත් ගොවුටා නගරයේ කෙළවරක තවමත් ෂෙල් වෙඩි පුපුරා යයි. නගරයේ එම කොටසේ සිටිනා සටන් කාමීන් තවමත් නික්ම යාමට සූදානම් වී නැති සැටියකි. පිටව යන්නන්ගේ ඡායාරූප නොගන්නා බවට හා ඔවුන් මාධ්‍ය හමුවට නොගෙනෙන බවට රජය හා සටන්කාමීන් අතර පූර්ව එකඟතාවයක් තිබුනද එය තකන ලද්දේ මඳ වශයෙනි. එක් සටන් කාමියෙක් තම ඉතා ලාබාල බිරිය හා දරු දෙදෙනා සමඟ බස් රථයකට ගොඩවනු අප දුටිමු. තවත් එවැන්නෝ රැසක් සිය අවස්ථාව උදා වනතුරු බලා උන්හ.

අතු බිඳීගිය ලොක රහිත ගස් යටට වී තවමත් යාඥා කරන දිගු රැවුල් කරුවන් දෙස දෙස මම බලා සිටියෙමි. ඔවුන්ගේ නොපීරූ හිස කෙස් අපිලිවලය. ඔවුහු ලාභ යුද කබා හැඳ සිටිති. ප්ලාස්ටික් සැන්ඩ්ලස් පාවහන් දූවිලි වලින් වැසී ඇත. ඔවුන්ගේ පැත්තෙන් ගත් කල එය දේශපාලන දහමකට සමාන විය. ධර්මය තුලින් සටනට යොමු කොට ලැබ සිටි ඔවුහු සිය ශුද්ධ වූ යුද්ධය හැර දමා යටත් වන මොහොතේ පවා තමා ඇදහූ දෙවියන් යදින්නේ නොසෙල්වෙන ඇදහිල්ල තුලින් යම් ආකාරයක ජයක් ලබන්නට තැත් කරන්නාක් මෙනි. එහෙත් එය එසේ වන්නේද? තමා ඇතුළු අඹු දරුවන් ගේ ජීවිත රැක ගැනීම පිණිස සිය පරම සතුරු සිරියානු රජය හමුවේ දණින් වැටී, බෂාර්-අල්-අසාද් ගේ ආරක්ෂකයා වූ දෙවියන් නොඅදහන රුසියානුවන්ගේ කරුණාව හා ක්ෂමාව පැතීමට සිදුවීමෙන් අනතුරුව ලද හැකි අධ්‍යාත්මික ජය කවරේද?

වරදවා වටහා නොගන්න. ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයේ නොමඳ අනුග්‍රහයෙන් ඔවුන් විසින් සත් වසරකට පෙර ආරම්භ කරනු ලැබූ සිරියාවේ සිවිල් යුද්ධය දැන් අවසන් වෙමින් පවතින්නේ මොස්කොව් නුවර සිට ගැනෙන තීරණ මත බව අප අමතක නොකොට යුතුය. ගොවුටා නගරයෙන් පිටව යන සෑම බස් රියක්ම රුසියන් හමුදා පොලිස් භටයන්ගේ දැඩි පරීක්ෂාවට ලක්වේ. ඔවුනත ඇති නවීනතම යුද අවි මතට වැටෙන හිරු එලියෙන් නික්මෙන්නේ ඇස් නිලංකාර කරවන දිස්නයකි. දැවැන්ත රුසියන් ජනරාල් වරයෙක් සිය පරිවාර නිලධාරීන් සමඟ ඔබ මොබ සැරි සරන්නේ සියල්ල හරි හැටි සිදු වන වගට පසක් කරගැනීමට මෙනි. බස් රථ වල කළු වීදුරු සවිකොට තිබූ හෙයින් නික්මයන සටන් කරුවන් හා ඔවුන්ගේ ලාබාල බිරින්දෑ වරුන් අපට පෙනුනේ නොපැහැදිලි ඡායාවන් ලෙසය.
ගොවුටා නගරයේම උපන් සිරියානු ජාතිකයන් වූ ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තුර්කි පාලනය යටතේ ඇති යාබද ඉඩ්ලිබ් පලාත වෙත යන්නේ ජීවිතයේ පලමු වතාවටය. එහි සිටිනා ඔවුන්ගේ සහෝදර සටන්කාමීන්ට ඔවුන් වෙනුවෙන් වැය කිරීමට ඇති කාලය අල්ප බව සියල්ලෝ දනිත්. සිය මවගේ ඇකයෙන් නැගුන කුඩා දැරියක් බස්රියේ අඳුරු වීදුරුව තුලින් අප දෙස හිස් බැල්මක් හෙළුවාය. සිරියානු ඉතිහාසයේ ලියැවෙමින් පවතින මෙම නව පිටුව අවබෝධ කොට ගැනීමට ඈ තවමත් කුඩා වැඩිය.

Image may contain: 1 person, outdoor

එහෙත් අපගේ පැරණි පැණයට තවමත් පිළිතුරු ලැබී නැත. දූවිලි වැකුන ඇඳුමින් සැරසී රවුල් වවාගෙන මල කෑ පැරණි අවි දැරූ මෙම අවාසනාවත් මිනිසුන් පැමිණියේ කොහි සිටද? අප ඔවුන් මීට පෙර නුදුටුවේ ඇයි? නගරයේ ඈත කෙලවරක සිය ඔවුන්ගේ සගයන් විසින් නොසැලකිල්ලෙන් තබන වෙඩි වැල් වල ශබ්දය තවමත් වියැකී නොමැත. “ යන්න කලින් පතුරම් ටික ඉවර කරනවා වගේ.” එක් සිරියානු සෙබලෙක් එදෙස බලමින් පැවසුවේ නොසැලකිල්ලෙනි.
පසුගිය සමයේ බටහිර මාධ්‍ය හා සමාජ ජාලා තුල යුද්ධයෙන් බැට කෑ සිවිල් වැසියන් හා රජයේ හමුදා ප්‍රහාර වලින් මිය ගිය බව පැවසුන ළමයින්ගේ සිරුරු වලින් පිරී ගිය වීඩියෝ පට නොඅඩුව දක්නට ලැබුනද, අද සතුරාගේ ක්ෂමාව පතමින් තමා විසින්ම විනාශකරන ලද ගම්බිම් හැර යන මෙම සටන් කරුවන් පිළිබඳ ඔවුන් නිහඬව සිටියේ මන්ද? තමා නිදහස් මාධ්‍ය වේදීන් බව ඔවුහු එකල පුරසාරම් දෙඩූහ . ලමුන් සම්බන්ධව ගත් කල තත්වය වඩාත් බරපතලය. හිටපු සටන් කාමීන්ගේ දරුවන් සුඛොපභෝගී බස්රථ වලින් ඉඩ්ලිබ් පලාත කරා ගෙන යන අතර සමාන්යප දරුවෝ අඩ්‍රා ‍ප්‍රදේශයේ අනාථ කධවුරු වලට ගාල් කෙරෙති. සියළු දරුවෝ සමානයෝ නොවෙත්ද?

එහෙත් මා කලින් පැවසූ අන්දමට චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරෙන්නේ ධවල මන්දිරයේ හෝ ඩවුනින් වීදියේ හෝ සිට නොව දැවැන්ත ක්‍රෙම්ලින් බලකොටුව තුල සිට බව සිහි තබා ගැනීම මැනවි. මීට දශක කිහිපයකට පෙර සටන් පවතින කලාප වල සිවිල් පාලනය හා ජනයා ඉවත්කිරීම පැවරුනේ නිල් පැහැති අත් පටි බැඳගත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවකටය; නොඑසේනම් අමෙරිකානු හමුදාවටය. එහෙත් අද සිරියාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. දිලිසෙන අවි ගත් රුසියන් භටයෝ අද ගවුටා නගරේ සාම සාධක කටයුතු වල යෙදෙත්. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ආදේශකයක් ලෙස ගොඩ නගන ලද අස්ටානා සමුළුවේ නායකත්වය දරන්නේ ඔවුන්ය. වසර ගනණාවක් මුළුල්ලේ සී. අයි. ඒ සංවිධානය විසින් ඩොලර් බිලියන ගණනාවක් වැය කොට සන්නද්ධ කරනු ලැබූ ජිහාඩ් වරු රුසියන් කෲස් මිසයිල ප්‍රහාර වලින් සමූලඝාතනය වෙද්දී ඇමරිකාවේ විරෝධය ආරක්ෂක මණ්ඩලයේ හෙලාදකීමේ යෝජනාවකට සීමා විය. බටහිර සම්මතයන්ට අනුව ‘සිවිල් වැසියන්’ ලෙස වර්ගීකරණය කෙරුණ සටන් කාමීන් ගේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකාව සුදුසු යැයි හැඟෙන විටක ‘ස්වාධීන’ව ක්‍රියා කරන බවට එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානපතිනී නිකී හේලි මහත්මිය රාජ්‍යතාන්ත්‍රික අනතුරු ඇඟවීමක් කලද, ඊට මොස්කොව් නුවරින් ඈ ලද ප්‍රතිචාරය ඇඟ කිළිපොලා යන සුළුය. රුසියන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ඊට පිළිතුරු ලෙස පැවසුවේ එවන් තත්වයක් යටතේ සිරියාවේ ස්ථානගත කොට ඇති සිය යුද උපකරණ හා භටයන්ට තර්ජන එල්ල විය හැකි ඕනෑම ඉලක්කයක් විනාශ කිරීමට රුසියන් උපාය මාර්ගික රොකට් බලඇණි නොපැකිල කටයුතු කරනු ඇති බවයි. මෙම තර්ජනය පුස්සක් ලෙස සැලකිය නොහැක්කේ මේ වන විට මධ්‍යධරණී ප්‍රදේශයේ සක්‍රිය තත්වයේ ස්ථානගත කොට ඇති රුසියාව සතු අති නවීන එස් 400 ගුවන්යානා නාශක මිසයිල පද්ධති වලින් ගැලවී යාමට කිසිදු නේටෝ ප්‍රහාරක යානාවක් සමත් නොවනු ඇතැයි බටහිර යුද විෂේශඥයන් පවා බිය පල කරන නිසාය.

සෝවියට් සංගමයේ බිඳ වැටීමේ අභාග්‍යය හා පැරණි වෝර්සෝ හවුලේ සමාජිකයන් තමාට ද්‍රෝහී වීමේ අනිටු විපාකයන් අභිභවා ලෝක බලවතෙකු ලෙස අද යලි නැගී සිටින ව්ලැදිමීර් පුටින්ගේ රුසියාව, සියළු ස්ලාව් වරුන් එක්සත් කරන ලද ‘දෙවන සෝවියට් දේශයක්’ පිළිබඳ සිහින දකින බව යුක්රේනයේ අත්දැකීමෙන් පසක් විය. හිටපු සෝවියට් ඔත්තු සේවා නිළධරියෙක් වූ පුටින් තම පැරණි කේ.ජී.බී අත්පොත දිග හැර ගෙන ඇති වග ඉතා පැහැදිලිය. වාර්ගික රුසියානුවන් බහුල යුක්‍රේනය සතු ක්‍රිමියා අර්ධද්වීපය දෙදහස් දහ හතරේ එක රැයින් හමුදා යවා ඈඳා ගැනීමත්, රුසියන් හිතවාදී සටන් කාමීන් සන්නද්ධ කොට දොන්බාස් පෙදෙස යුක්රේයනයෙන් වෙන් කිරීමත් හුදෙක්ම ආත්ම-හිතකර ක්රි්යා මාර්ග ලෙස සැලකිය හැකි වුවද, සිරියාවේ රුසියන් මැදිහත් වීම වඩාත් ඔබ්බට ගිය අරමුණු සහිත එකකි. ලෝක බලවතා ලෙස අමෙරිකා එක්සත් ජනපදය දශක දෙකක් මුළුල්ලේ ගෙන ගිය ඒකාධිකාරයට තීරණාත්මක ලෙස අභියෝග කිරීම තුලින් තරඟකාරී විකල්ප ලෝක බලවේගයක් බවට පත් වීම මෙන්ම මැදපෙරදිග තම සම්ප්ර දායයික මිතුරා වූ සිරියාවේ රුසියාවට හිතවත් බෂාර්-අල්-අසාද් පාලනය අයි. එස්. හා අනිකුත් මූලධර්මවාදී සංවිධාන වලිනනෙල්ල වූ ප්‍රහාර මාලාව හමුවේ ආරක්ෂා කිරීමත් එමගින් අදහස් විය. අතිශය සාර්ථක වූ පුටින්ගේ මෙම සිරියානු ප්‍රතිපත්තිය තුලින් රුසියාව ලද අමතර වාසි වූයේ සිය යුද අවි අත් හදා බැලීමට අවස්ථාව හා රුසියන් යුද අවි සඳහා ලෝකයේ ඇතිවූ ඉහල ඉල්ලුමත්ය. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මැදපෙරදිග වූ අමෙරිකානු අධිකාරය බිඳ වැටුන අතර සිරියාවට පහර දීමට තැත් කොට නිකරුනේ එෆ් 16 ප්‍රහාරක ගුවන් යානාවක් අහිමි කොටගත් ඊශ්රායලය දේශපාලන වශයෙන් හුදෙකලා වූවාය. නේටෝ සාමාජික තුර්කිය රුසියාව සමඟ අත් වැල් බැඳගැනීමට ඉදිරි පත් වීම හා ඉරාකය හා ඊජිප්තුව රුසියාවේ මිතුරන් වීමට පැතීමත් නිසා මැදපෙරදිග බලතුලනය උඩු යටිකුරු වී ඇත.
ඉදින් ගවුටා නගරයේ ‘කුඩා සටන්කාමීන්ගේ’ පාලනය අවසන් කිරීමට කල් එලැඹ ඇතැයි රුසියානුවන් තීරණය කල විට ඊට ඵලදායී ලෙස එරෙහි වීමට තවදුරටත් කිසිවෙකුත් නැත. සියළු විරුද්ධවාදීහූ අකාරුණික බෝම්බ ප්‍රහාර හෝ චාටු බස් හරහා මැඩලනු ලැබ සිටිති. අඩු තරමින් සටන් කාමීන් ඉඩ්ලිබ් පෙදෙස වෙත ලඟාවන තුරු හෝ මෙම පොරොන්දු ඉටු කෙරෙනු ඇතැයි විශ්වාසයක් ඇත. අනතුරුව නිමක් නැති සංහිඳියා කමිටු හරහා තමා තුර්කි පාලනයට නතුවන්නේද නැතහොත් නැවතත් අසාද් පාලනය යටතේ ගම් බිම් කරා පැමිණෙන්නේදයි තීරණය කිරීමට ඔවුනට සිදුවේ. සිරියාවේ බෂාර්-අල්-අසාද් තවදුරටත් බලයේ සිටිනු ඇත. ඉදිරි පණස් වසරක් පුරා සිරියාවේ බින්න බැසීමට දැනටමත් ගිවිසුම් ගසා සිටින රුසියානුවන් තමා පෙනී සිටින්නේ යුද්ධය නොව සාමය වෙනුවෙනැයි තව දුරටත් කියා සිටිනු ඇත.
දැන් නගරයෙන් සියයට අනුවක් පාලනය කරන්නේ සිරියානු රජයේ හමුදාවයි. නගරයේ ඈත කෙලවර සිටින සටන් කාමීන් තවමත් එල්ලයෙන් තොරව අහසට වෙඩි තබමින් සිටින හෙයින් ඔවුන් තවමත් ඉතා සුපරික්ෂාකාරීය. හෙම්බත්ව සිටියද, ජය නියත වග ඔවුන් දනිති. මහ මඟ යන හමුදා ට්‍රක් රථයක සිටි සිරියානු සෙබලෙක් පෝලිම් ගැසී සිටින සටන් කාමීන්ට සිය මැදඟිල්ල උරුක් කොට අවමන් කරයි. ඊට ප්‍රතිචාර දැක්වීමට සටන් කාමීන් ඉදිරිපත් වූයේ නැත. එහෙත් පුදුමය වූයේ සිරියානු රජයේ රූපවාහිණියේ වාර්ථා කරුවෙක් වීඩියෝ පටිගත කිරීමේ යන්ත්‍රයක් ද ගෙන බස් රථයකට නැගුන කල එකිනෙකා පරයමින් කථා කිරීමට ඔවුන් ඉදිරිපත් වීමයි.
තමා හා තම සගයින් නිදහස පතා සටන් කල බව අව් කණ්ණාඩි පැලඳගත් සටන් කාමියෙක් පැවසුවේය.
“යුද්දෙට කලින් අපිට නිදහස ඇතිවෙන්න තිබුනා. මම කෑව, බිව්ව, පල්ලි ගියා. කවුරුවත් මට බාධා කරේ නෑ. මේ යුද්දෙ ඇතිවුනේ තමුසෙලට අමුතු නිදහසක් ඕන උන නිසා…” රජයේ වාර්තා කරු ඊට විරුද්ධ විය. එපමණකි. කසුකුසුව අතරින් නැගී සිටි තවත් සටක් කරුවෙක් තමා ඉඩ්ලිබ් කරා යාමට අකැමැති බවත්, මේ පිලිබධ තම කැමැත්ත නොවිමසන ලද බවත්, යුද්ධය අතර තුරදී පවා තම නායකයන්ට අනුභව කල තරම් උසස් ආහාර තමාට ලබා නුදුන් බවත් කියා සිටියේය. ඒ සමඟම කසු කුසුව කලබ ගෑනියක් බවට පත් විය. සටන් කාමීන් එකිනෙකා අතර විවාද කොට ගනිද්දී ඒ සියල්ල පටිගත වූයේ රජයේ රූපවාහිනියේ මීලඟ වැඩ සටහන සදහා විය හැක.
සිරියානු රජයේ ප්රවචාරක යුද්ධයද උණ්ඩය තරම්ම බලවත්ය. සත් අවුරුදු සිවිල් යුද්ධයෙන් ඉරි තලා ගියද, රුසියන් මැලියම් වලින් පිළිසකර කොට නඩත්තු කෙරෙන අසාද් පාලනය නැමැති වීදුරුව කොන්ක්රීට් මෙන් ඝනය.
(අනුවාදයකි)

චාමර සිරිවර්දන
Submit your review
1
2
3
4
5
Submit
     
Cancel

Create your own review

නික්ම යාම
Average rating:  
 0 reviews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *