සරුංගලය

සරුංගලය

සරුංගලය

විජේවර්ධන ශාලාවෙන් ඇය එළියට බැස්සේ පිස්සියක මෙනි. රැයක් පුරා නිදි වර්ජිතව හැඩූ කදුලෙන් ඇගේ මුහුණ තඩිස්සි වී දෙනෙත් රත් පැහැ ගැන්වී ඇත. දිනපොත, ජංගම දුරකථනය, මුදල් සහ ඒ මොහොතේ අතේ තිබුණ සියළු දේ කුඩා මල්ලක දමා ගත් ඇය ස්ථිර අවසානයක් ඇති, ඒකායන අරමුණක් නැති මගක ගමන් කරන්නට විය. “ මම කෝච්චියට පනිනවා…. මම මැරෙනවා! පපුවේ පතුලෙන්ම ඇය කෑ ගැසුවාය.

විජේවර්ධන ශාලාවේ දොරකඩින් මද දුරක් ඉදිරියට ගිය ඇය දකුණ පස පාරේ ඇවිද්දේ සරසවි උයන දුම්රිය ස්ථානය වෙතයි. ඒ මොහොතේ අහසේ කුරුල්ලෝ එකා දෙන්නා ඉගිලෙන්නට පටන් ගත්තා පමණි. නමුත් කුරුළු කිචිබිචියේ කන්කලුභාවය ඇයට ඇසුණේ නැත. තමාව අස්වසන්නට කාමරයේ උන් යෙහෙලියන් තිදෙනා ඉමහත් වෙහෙසක් දරා නින්දට වැටුණේ පාන්දර තුන පසුවීය. ඔවුන් තාමත් ඇදේ ගුලි වී නිදමින් සිටිනු ඇත. ඇය රේල් පීලි පැන සරසවි උයන දුම්රිය ස්ථානයේ ලී ආසනයට බර වූවාය. රැය පුරා වට පින්නට අසු වූ බංකුවේ සීතල ඇගේ හැඩකාර නිතඹට දැනුණේ නැත. ඇගේ මුළු ශරීරයම ගිනි කබලක් මෙන් රත් වී ඇත. වසර තුනක් පුරා අත්වැල් පටලවාගෙන පෙම් ආලිංගනයේ යෙදුණු පෙම්බර කුමාරයා ඊයේ උදෑසනෙන් පසු තමාට අහිමිය. ඒ තැනට ඊයේ උදෑසන පටන් නිල අයිතිකාරිය වූයේ විශ්වවිද්ාලයට අලුතින් ආ කණ්ඩායමේ සුරූපිනියකි. ඇගේ රීබොන්ඩින් කරන ලද කොන්ඩය අස්සෙන් තම පෙම්වතා අතැගිලි යවමින් ඒ මේ අත පනින කෙස් රොදවල් සිත්සේ සුරතල් කර එහි සුගන්ධය විදිනු ඇය දෑසින්ම දුටුවාය. ගමේ පාසලට ගිය ගමේ කමට හැදිච්ච තමා මෙන් නොව නගරයේ සුපිරි පාසලකට ගිය ඉංගිසි කතා කරන ඇය සැබවින්ම සුරූපිය. නමුත් ඒ සුරූපිභාවය කෘතිමව නූතන රූපලාවන්යාිගාරයකින් මුදලට ගත් දෙයක් බව තම පෙම්වතාට නොතේරෙන්නේ ඇයි දැයි ඇයට නොතේරුණාය.

“ ඇයි ඔයා මට මේ වගේ දොහිකමක් කළේ….. ’’

“ සදමාලි … මේක මගේ කැමැත්ත. ’’

“ ඇයි මම ලස්සන නැද්ද? මම හොද නැතිද? මොකක්ද මගේ තියෙන වැරුද්ද? ’’

“ ඔයා ලස්සනයි …. ඔයා හොදයි…. කිසිම වරදක් නෑ… ඒත්… ඒත්…. හැම දෙයක්ම වෙන්නේ දෛවය අනුව… මම අංජලීට කැමතියි, එයාගේ කොන්ඩෙට ආසයි…. එයා කොන්ඩෙට ගාන කන්ඩිෂනර් සුවදට මම ආසයි, එයා ඉංගිසි කතා කරන තාලෙට මම ආසයි…. එයාගේ සමාජශීලිත්වයට මම ගොඩක් කැමතියි. එයා ඇගට හිරවෙන්න අදින ඩෙනිම් කලිසමට, කෙටි සායට මම ගොඩක් කැමතියි. පිළිවෙලකට තියෙන ඇහිබැමට මම කැමතියි… එයා ඇවිදින විදිය… ඒ හැම දේකටම මම ගොඩාක් ආසයි… එච්චරයි…. එච්චරයි…. එච්චරයි! මට මීට වඩා කියන්න තේරෙන්නේ නැහැ… ’’

“ අනේ ළමයෝ! ඇයි ඔයා ඔය තරම් මෝඩ. සල්ලි විසිකරලා සැලොන් එකකින් ඔය ලස්සන මටත් ගන්න පුලුවන්…. ’’

“ නෑ කවදාවත් බෑ… ඔයා ගමේ කෙල්ලක්. ඔයාගේ අප්පච්චි ගොවියෙක්, ඔයා හැදුණේ ගැමි කමට, අංජලීගේ තාත්තා විධායක නිලධාරියෙක්. අම්මා කොළඹ ලොකු ඉස්කොලෙක විදුහල්පතිවරියක්. ඔයාගේ තාත්තා බුලත් විටක් කාලා උදැල්ල කරට අරගෙන කුඹුරට යනකොට අංජලීගේ තාත්තා ඒ සී කරපු වෙසල් එකේ නැගලා ඔෆීස් යනවා. ’’

“ කාට…. කා….ට, කාට … දොස් කිව්වත් මගේ රත්තරන් අප්පච්චිට විරුද්ධව එක වචනයක් කියන්න එපා ! කුඹුරු කොටලා හේන් කොටලා , ගිනි අව්වේ පිච්චි-පිච්චි , සල්ලි හොයලා මාව කැම්පස් එව්වේ, දෙවි කෙනෙක් වගේ මගේ අප්පච්චි! ’’

“ හරි හරි සදමාලී….. මම අපහාස කළා නෙමෙයි, මම සන්සන්දනයක් කළේ… ’’

“ නෑ ඕනේ නෑ… එක වචනයක් තව කියන්න එපා. ‍ මෙච්චර දෙයක් කරා වගේ මගේ අප්පච්චි මගේ අනාගතයේ ඉතිරි ටිකත් බලා ගනී… එසේ පවසමින් ඔහුගෙන් සමුගෙන පැමිණියත් තුන් වසරක පෙම විසිහතර පැයකින් කෙසේ මකා දමන්නද? ඊටත්, පෙරදින තමාගේ පෙම්වතා ඊට පැය කිහිපයකට පසු වෙනත් කෙල්ලෙක් තුරුළුකොට කෙස් රොදවල් සුරතල් කරණු දැක කෙසේ ඉවසන්නද? සරසවි උයන දුම්රිය පොලේ ලී බංකුව මත වාඩි ගෙන ඇය ඊයේ සිදුවුණ සිදුවීම් කල්පනා කරන්නට විය. ‘ මට මේ දේ තවදුරටත් ඉවසගෙන ඉන්න බෑ…. මම මැරෙනවා. දෙයියනේ මම මැරෙනවා…. ’’ ඇය ජංගම දුරකථනයෙන් තම මිතුරියන් වෙත පණිවිඩයක් යැව්වාය. ඒ කෙනෙහිම මෙන් විජේවර්ධන ශාලාව පසුකරමින් හයයි කාලේ නගරාන්තර සිඝගාමි දුම්රියේ හූව හිමිදිරියේ නිශ්ශබ්දතාවය බිද දමමින් ඇයට ඇසුණේය. ඇය ඉද සිටි ආසනයෙන් නැගිටුණාය. දෙකකුල් වෙව්ලන්නට විය. මරණ බය යටි බඩ සීතල කළේය. ඒත් ඇය ඉදිරියට අඩිය තිබ්බාය.

“ නෝනා… ඕක ඉන්ටසිටිය, මෙතන නවත්තන්නේ නෑ…

දෙකට කැඩුණු මිටක් ඇති කොස්සකින් බිම අමදින දුම්රිය පොලේ සුදු සේවකයා වහා කීවේය. ඇය ඔහු දෙස බැලුවා නොව ඉබේටම බැලුණාය. ඒ තත්පරයට දෙකට සීගගාමී දුම්රිය ඇය පසුකර ගියේය. එහෙට මෙහෙට පැද්දෙමින් වැනෙමින් වේගයෙන් ඇදී යන දුම්රියේ පසු දර්ශනය දෙස ඇය බැලුවාය. කළු පාලම අස්සෙන් ඇදුණු දුම්රිය ඉක්බිති නොපෙනී ගියේය. “ කෝච්චිය මාව පහුකරපු වේගයෙන් මට සියල්ල අමතක කරන්න පුළුවන් නම්…. ’’ ඇගේ අවාසනාවට එවන් සිතුවිල්ලක් සිතට ආවේ නැත.

“ අනේ කෙලේලේ උඹට පිස්සුද? උඹ දැන් කොහෙද ඉන්නේ… අපි මේ හැම තැනම සොයනවා…. ’’ ඇගේ යෙහෙලියකගෙන් ආ මැසෙන්ජර් පණිවිඩය ඇය කියවූවාය.

“ මම ඉන්නේ මිනී වළේ ගැට්ට අයිනේ… මම මැරෙනවා.. මට තවත් ඉවසන්න බෑ.. මේ හොදටම ඇති… කියන්න එයාට … මම ආදරේ කළේ ඇත්තටම කියලා…. මම මැරුනම ලස්සන කවියක් ලියලා ගලහ හංදියේ සුදු කොඩියක් දාන්න… පොරොන්දු වෙන්න කෙල්ලේ… අනේ හා කියන්න… ….. ’’

හැඩූ කදුලින් එසේ අකුරු කෙටූ ඇය එය මිතුරියට හරවා යැව්වාය.
“ උඹට පිස්සුද බං… දැන් මේ කොහෙද ඉන්නේ… අපි මේ හැම තැනම හොයනවා… ’’

“ කොළඹ යන්ට නම් නෝනා දහයාමාරේ ස්ලෝ ටෙර්න් එක එනකල් ඉන්ට වෙනවා. ඊට වඩා ලේසියි නුවර ගිහින් බස් එකක යන එක. ’’
දුම්රිය පොළේ සුළු සේවකයා කටහඩ අවදි කළේය. “ තව ටිකකින් නුවර යන්ට කෝච්චියක් එනවා. ඒකෙ නුවරට ගියා නම් හරි…. ’’ මද වේලාවකට පසු ඔහු නැවතත් කීවේය. ඇය නැවත අසුනට බර වූවාය. තමාගේ මිතුරියන් තමා සොයා එන්නට පෙර මරණය වැළද ගත යුතුයි…. ඇය වටපිට බැලුවාය. මදක් කල්පනා කළාය. අසංක මේ මොහොතේ කුමක් කරනු ඇතිද? නින්දෙන් අවදි වී ‘ගුඩ් මෝනිං… යනුවෙන් වසර තුනක් නොනවත්වා තමාට එවූ කෙටි පණිවිඩය කිසිදු ලෝබ කමකින් තොරව අංජලීට යවමින් සිටිනවා විය හැක. එසේ නැතිනම් අංජලී සමග ඊයේ හවස ජිම් එක පිටුපස සිමෙන්තියේ වැතිරෙමින් රග දැක්වූ පෙම් ජවනිකා රසකරමින් මෙනෙහි කරනවා විය හැක. එම කාලකණ්ණි සිතුවිල්ලත් සමගම මරණයට ඇති කැමැත්ත නොසිතූ වේගයෙන් මාපකයේ ඉහළ නැග්ගේය. ඉරිසියාව, වේදනාව, පේම විපයෝගය, ඉච්චාභංගත්වය….. කුමක් නිසා හෝ එය එසේ වන්නට ඇත.

‘ඔව් මම මැරෙනවා ඒක ස්ථිරයි…. කාටවත් ඒක වලක්වන්න බෑ… ’

මම නොවටිනා කෙල්ලක්… කාගෙවත් ආදරය නැති…. මට මම ගැනම දුක හිතෙනවා.. දෙයියනේ මම පව්! ඊළගට එන කෝච්චියට මම පනිනවා…. ඇය ස්ථිරවම සිතුවාය. ගතවූයේ මොහොතකි. පේරාදෙණිය දෙසින් නුවර බලා ඇදෙන දුම්රියේ හදවත රිදුම් දෙන මරණීය හඩ ඇයට ඇසුණේය. ඇය ගමන් මල්ල කරේ දා ගත්තාය. ජංගම දුරකථනය සුරතේ ගුලි කොට ගත්තාය. කළු පාලමෙන් මතු වූ දුම්රිය හෙමින් හෙමින් පැමිණ සරසවි උයන දුම්රිය පොලේ නතර කළේය. මේකට පැනල නම් මට මැරෙන්න වෙන්නේ නෑ.. අත පය හතර කඩාගෙන ඉස්පිරිතාලේ ලගින්න වෙයි…
මන්දගාමී දුම්රියේ දසුන ඇයට බාධා කළාය. “ මැරෙන්ට කලින් බුදුන් වදින්න ඕනේ… ’’

‘’ ඔව් මම දළදා මාලිගාවට යනවා. ඒත් ආයෙත් මෙතන්ට එනවා. අසංක මට මුලින්ම හමුවුණේ වචනයක් කතා කළේ මේ පේරාදෙණිය කළු පාලම මතදී… මම කළු පාලමෙන් ගගට පනිනවා… ’’ඇය එසේ සිතමින්ම දුම්රිය මැදිරියට ගොඩ වූවාය. දෙපසට ගැස්සී ගැස්සී දුම්රිය නුවර බලා ඇදුණේය. විජේවර්ධන ශාලාවේ දර්ශණය ඈතින් ඇගේ දෙනෙතට දර්ශනය විය. අවසන් වතාවටත් ඇය ගෙල හරවා එහි පැති දර්ශනයක් නරඹන්නට විය. ඉක්බිති සිය පණ හානි කරන දරුණු සිතකින් මුරණ්ඩු මුහුනකින් දුම්රිය අසුනට කොන්ද බර කළාය. ඇගේ ජංගම දුරකථනයට නිමක් ඇමතුම් ගලා එන්නට විය. කෙටි පණිවිඩ එන්නට විය. සියල්ල ඇගේ යෙහෙළියන්ගෙනි. තම මිතුරිය සිය දිවි තොර කර ගන්නට දරන උත්සාහය කෙසේ හෝ නවතාලීම ඔවුනගේ ඒකායන අරමුණයි. ජංගම දුරකථනයට කිසිදු පරතිචාරයක් නොදැක්වූ ඇය නිසොල්මනේ තම අරමුණ කරා පමණක් සිත ගෙන යන්නට විය.

දළදා මාළිගාවේ හේවිසි නාදය ඇගේ කනට ඇසුණේ නැත. ඇය මහමළුවේ පවා ඇවිද්දේ පිස්සියක මෙනි. වැඩසිටින මාළිගයේ පඩිපෙළ ඇය නැග්ගේ අවසිහියෙනි. අවාට ගියාට දළදා වහන්සේ වැද පුදාගත් ඇය වහා ඉන් නික්මුණාය. ඇයට තනිවන්නට වුවමනාය. බැතිමතුන්, යාන වාහන, ඇගේ මනස තවතවත් අවුල් කළාය. ඇය නුවර වැවේ වැව් තාවුල්ලේ සිමෙන්ති බංකුවක් මත වාඩි වූවාය. නුවර වැවේ සිසිලස ඇගේ ශරීරය තෙමා දැම්මේය. නමුත් ඒ සිසිලස පේම විප්රයෝගයෙන් රත් වූ සිත තෙමන්නට කිසිසේත් පමාණවත් වූයේ නැත. තටු ගසමින් ඒවා පීරමින් ඒ මේ අත පිහිනා යන තාරාවෝ ඇගේ දෙනෙතට පිය දසුනක් වූයේ නැත. පොකුරු පිටින් උඩ පනින මාළු නම් ඇගේ හදවතේ ගැස්ම තවතවත් වැඩි කළාය. වසර තුනක පෙම එක් දිනකින් කෙසේ මකා දමන්නද? ඊටත් තම දෙනෙතට පෙනි-පෙනී, නිතිපතා, තම පෙම්වතා වෙනත් තරුණියක සමගින් අනාගතයේදී ගමන් කරනු කෙසේ ඉවසන්නද? අත්වැල් පටලවාගෙන වළේ නාට්යග බැලූ හැටි, කූඩැල්ලෝ ගලවමින් තනකොල මත ඇවිද ගිය හැටි, එක බත් පත බෙදාගෙන කෑ හැටි, උණුසුමට තුරුළු වෙලා රැය පහන් වෙන තුරු වචන මිමිණූ හැටි, ඇගේ සිතට එකක් බැගින් එකක් එක පෙළට ඇමිණුනේය. මුලින්ම අසංක වචනයක් කතා කළ දවස, බොරුවට සංඩු කර නැවත යාළු වූ හැටි, පොඩි දේටත් තරහින් එල්ලුන හැටි, මේ සියල්ල ඇගේ හිතට තවතවත් වද දුන්නාය. සිමෙන්ති බංකුව මත වාඩි වී ඇය බොහෝ වේලාවක් සිටියාය. “ මම මැරෙනවා.. ඒකාන්තයෙන්ම මම ගගට පනිනවා. අසංක මට මුලින්ම කතා කළේ පේරාදෙණිය යකඩ පාලම උඩදී. මම එතැනට ගිහින් ගගට පනිනවා. මම යනවා අසංක මට මුලින්ම කතා කළ තැනට… එම ස්ථිරසාර අදහස පෙරටුකොට ගෙන ඇය අසුන්ගෙන සිටි ආසනයෙන් නැගිට්ටාය. ඇය නැවතත් දුම්රියපොළ වෙත පිය නැගුවාය. කොළඹ බලා ඇදෙන දහයයි තිහේ දුම්රියෙන් සරසවිඋයනට පවේශ පතක් මිලට ගත්තාය.

දුම්රියෙන් බැස ගත් ඇය රේල් පාර දිගේ පයින් ඇවිදිමින් යකඩ පාලම දෙසට ගියාය. සරසවියට පැමිණි මුල් කාලයේ නේවාසිකාගාරයක් ලැබෙන තුරු ඇය මිතුරියන් දෙදෙනක සමග නවාතැන් ගත් පැණිදෙනියේ පිහිටි නිවසට ගමන් කළේ මෙම පැරණි යකඩ මතිනි. සිල්පර කොටන් අස්සෙන් අඩි හැටක් ගැඹුරින් ඇති මහවැලි ගගේ ජලය මුලින්ම දුටු දිනය ඇයට මතකය. සිල්පර කොටන් මතින් අඩිය නොතබා පැත්තකින් යකඩ පටි දමා සාදා ඇති පදික වේදිකාව දිගේ ගමන් කරන හැටි කියා දුන්නේ ඒ අසළ උන් වයසක මිනිසෙකි. යහළුවන් තිදෙනා සමග බොහෝ වේලා ගත කොට පාලමෙන් එගොඩට ගොස් ඇති වන තුරු මහ හයියෙන් බඩවල් අල්ලාගෙන සිනාසුන හැටි ඇයට වහා මතකයට ආවේය. ඉන්පසු සාමාන්යල ලෙසට බයකින් තොරව ගිය හැටි. නමුත්, නමුත්, එක් දිනක් යෙහෙලියන් දෙදෙනා නැතිව තමන්ට තනිව පමණක් පාලම මතින් එගොඩ යන්නට වුණු දිනය…. ගැහෙන හදින් පාලමෙන් එගොඩ නොවී එකල මෙකල වෙමින් වටපිට බලමින් සිටින විටදී…..

“ ඇයි නංගි එහා පැත්තට යන්ට බයයිද? ’’ යැයි අසමින් කඩවසම් තරුණයෙකු කතා කළ අයුරු…

“ නංගි මොකක්ද ෆැකල්ටිය ? ’’

“ මෙඩිකල්’’

“ෆස්ට් ඉයර් නේද? ’’

“ ඔව්’’

“ මම අසංක…. යාළුවෝ නම් කියන්නේ බඹරා කියලා…. මෙඩිකල් ෆැකල්ටියේ සෙකන්ඩ් ඉයර්…. ’’

එදින දැන ඇදින ගත් අසංක අයියා තමාගේ ජීවිතය මෙතරම් ඉක්මනට කෙටි කරන්නට දායක වේ යැයි ඇය සිහිනයකින්වත් සිතුවේ නැත. ඇයට හැඩුම් ආවේ එක්වරමය. පාලමට කිට්ටු වන්නට-වන්නට ඇගේ හැඩුමේ වේගය වැඩි වූවාය. වහා ලේන්සුව අතට ඇය දෙනෙත කදුලින් පිස ගත්තාය. දින කිහිපයකට පෙර වට වැස්සට පින් සිදු වන්නට මහවැලි ගගේ වතුර ඉහළට නැග ඇත. යකඩ පාලමේ සිල්පර කොටන් අස්සෙන් ගගට පනින සිතුවිල්ල වේගයෙන් ගලා යන මහවැලියේ වතුර දැක තවතවත් ත්වර වූවාය. ජංගම දුරකථනය අතට ගත් ඇය මේ ආත්මයේ ගන්නා අවසාන දුරකථන ඇමතුම ගත්තාය.

“ ඇයි තවත් මොනාද මගෙන් දැන ගන්ට තියෙන්නේ…! ’’

“ අනේ නෑ අසංක අයියේ…. මට ඔයාගෙන් කිසි දෙයක් දැන ගන්න නෑ. අවසාන වතාවට ඔයාට යමක් කියන්න මේ අසරණ කෙල්ල කතා කළේ… ’’

“ මේ වෙලාවේ අංජි මගේ ළග ඉන්නවා. ඔයා මෙහෙම විටින්විට කතා කරන්ට ගියාම එයා මොනාද මම ගැන හිතන්නේ…. වෙච්ච දේ වුණා. මම දැන් තවදුරටත් ඔයාගේ නෙමෙයි…! ’’

“ අපි දෙන්නා ඉස්සෙල්ලාම මුණ ගැසුණු, වචනයක් හා පුරා කියලා කතා කළ….. පේරාදෙණිය කළු පාලම උඩ මම ඉන්නේ…. මම ඊයේ තමා දැන ගත්තේ ඔයාගේ හිතත් කළු පාලමේ යකඩ වගේ හයිය එකක් කියලා… ඒකට කමක් නෑ අයියේ…. මහවැලියේ වතුරත් අද ගොඩා… ක්! හැබැයි ඊයේ රෑ මම අඩපු තරම් කදුළු මහවැලියේ නෑ. මගේ ඇස් දෙකෙන් ගැලුවේ ගං වතුර අයියේ…. රෑ අහසත් මාත් එක්ක තරගෙට ඇඩුවා, ඔයා දන්නවා නම් ඊයේ මම විජේවර්ධනේ තිහේ කාමරේ ඉදලා අඩපු තරමක්! මම දන්නවා ඔයාට ඒකෙන් වැඩක් නෑ කියලා, සිල්පර කොටන් අස්සෙන් ‍යන බොර පාට වතුර දැක්කම මට බයයි…. ඒත් ඒ බයට වඩා මම බයයි අසංක අයියා ගැන මතකය වෛරසයක් වගේ මගේ හිතේ තෙරපෙනවට! මගේ මිනිය කොහෙන් හමු වෙයිද දන් නෑ…. ඒක කොහෙන් හමු වුණත් ඒ ඔයා අවුරුදු තුනක් පෙම් කළ සදමාලිගේ බව අමතක කරන්න එපා. ඔයාට පැලෙන්න ආදරය කළ ඔයාගේ සදා ගේ බව අමතක කරන්න එපා. ’’
එසේ කියූ ඇය ජංගම දුරකථනය සිල්පර කොටන් දෙකක් අස්සෙන් ගගට වැටෙන්නට වහා අත හැරියාය. කොන්ඩඇරුම් වට කිහිපයක් කැරකෙමින් එය මහවැලි පතුලේ කුඩා පෙණ කිහිපයක් පමණක් ඉහළට මතුකරමින් නොපෙනී ගියාය. ඇය සිල්පර කොටන් උඩින් අඩිය තබමින් සුදුසු තැනක් සොයා ඇවිද්දාය. එක තැනක නතර විය.

“ හරි … හරි … අප්පච්චී තව ටිකයි! තව ටිකයි! නූල් දෙන්ට… හරි හරි දැන් උඩට යනවා…. උඩටම යනවා…. ආයිෂ් අප්පා මගේ සරුංගලේ…! ’’

ඇය වහා ගෙල ඔසවා බැලුවාය. පාලමේ කෙළවර කුඩා කදු ගැටයක සරුංගලයක් උඩට යවන්නට හදන අවුරුදු අටක පමණ දැරියක් සහ ඇගේ පියාගේ දර්ශණය ඇයගේ දෙනෙතේ වහා ගැටුණාය.
“ අප්පච්චි තව නූල් දෙන්න. හන්තාන කන්ද උඩින් අපි මේක යවමු… ’’ කුඩා දැරිය උඩපනිමින් අත්පුඩි ගසමින් කෑ ගසන්නීය.
“ දෙයියනේ…. අප්…. ප…. ච්…චි ! මගේ අප්පච්චි.. මගේ රත්තරන් අප්පච්චි. ඇය අවසිහියෙන් මෙන් කෑ ගැසුවාය. වහා සිල්පර කොටන් මතින් මෑත් වී පදික වේදිකාවට පැන්නාය. සිය වතාවක් අප්පචිචි යැයි මුමුනමින් ඇය පදික වේදිකාව දිගේ පිස්සියක මෙන් ඇවිද්දාය. වහ වහා දිව ගොස් යකඩ පාලමෙන්ද එතෙර වී නුවර බලා යන බසයකට අත දමා ඊට ගොඩ වූයේ මොහොතකට හෝ පමාද නොවෙමින්ය.
“ අප්පචිචි … මේක තමයි මම දැක්ක ලස්සනම, ලොකුම සරුංගලේ… ’’

“ පාට කොළ අලවලා ගත්තම තවත් ලස්සන වෙයි ’’

“ එතකොට රැල් දැම්මම තවත් ලස්සන වෙයි නේද අප්පචිචි? ’’

“ ඔව් මගේ පැටියෝ…. ඊට පස්සේ අපි දෙන්නා නංගිත් එක්ක කදු ගැටේ උඩට ගිහින් මේක උඩ..ට උඩ…ට යවමු. ’’

සරුංගලේ සාදා නිමකල පසු අප්පචිචි තමා කැටුව කන්ද උඩට ගිය අන්දම. නූල් යවමින් සරුංගලේ ඉහළට යවපු හැටි. මද වේලාවකට පසු නූල කැඩී සරුංගලය අනන්ත අහසේ පාවී ගිය හැටි. පොලොවේ පස් කමින් තමා හැඩූ හැටි. “ අඩන්න එපා දුවේ… සරුංගල් ඔහොම තමයි…. අපි තව අලුත් එකක් හදමු. මීට වඩා ලස්සන එකක් ආයෙත් හදමු’’

“ නෑ … නෑ…. අප්පච්චි මට මේකම ඕනේ … මේකම ඕනේ… අලුත් එකක් එපා… අලුත් ඒවා එපා…. අයියෝ…. මගේ සරුංගලේ…. හෑ…..යි ! හෑ….. යි ! ’’

“ හා එහෙනම් හොද දුව වගේ දැන් ගෙදරට යන්ටකෝ… ඒ සරුංගලේ වැඩි ඈතකට ගියේ නෑ. මේ ළගටම තමා පාත් වුණේ. මම කොහොම හරි හොයාගෙන එන්නම්… ’’ යනුවෙන් අප්පච්චී පැවසූ අයුරු… පරාජිත මුහුණකින් අප්පච්චි නැවත පැමිණි හැටි…

“ වැඩක් නෑ… ඒක අර පල්ලෙහා වෙලේ කොල්ලෙක් අල්ලගෙන! ආය දෙන්ට බෑ කිවිවේ…. ’’ යැයි තම මවට පවසමින් අප්පච්චි මහත් කනස්සලු සිතකින් හාන්සි පුටුවේ දිග ඇදුණු අයුරු….

“ ඔය පොඩි කෙල්ලට මොන එහෙකට කෙහෙල්මල් සරුංගල් හදලා දුන්නද? අනික් එක කෙල්ලෝ සරුංගල් යවන සිරිතක් තියෙනවද? දැන් පැය ගානක් තිස්සේ වැලහින්නි වගේ අඩා වැළපෙනවා. අප්පලා දූලා එකතු වෙලා කරොත් කරන්නේ ඔය වගේ ගොං වැඩක් තමයි. කුඹුර කීඩෑවෝ කාලා.. හේනට වල් ඌරා පැනලා…. ’’

“ අප්පච්චිට බනින්න එපා… හෑ…..යි හෑ….යි ’’

“ වහගනිං කට! සරුංගල් යවන්ට බබා…. හොද බබ්බු දෙන්නා! ’’
තම මව පියාට දොස් කියන හඩ ඇසීමත් සමග ඉතා ආයාසයෙන් සිත පාලනය කොට හැඩීම නතර කර ගත් හැටි…. ඒත් … ඒත්…. ඒ ඉතා සුලු වේලාවකට පමණක්ම විය. නිවස ඉදිරිපිට තැබිලි පොල් ගස උඩින් අප්පච්චි හදා දුන් නූල කැඩී තමන්ට අහිමිව ගිය සරුංගලය හැඩ වැඩ දම-දමා පැද්දි-පැද්දී ඉහළ අහසට නගින්නට වූ අයුරු…. තමා මිදුලේ කෙළවර දෙල් ගස ළගට පිම්මට දෙකට දුවගොස් පහළ වෙල දෙස බැලූ හැටි! තමාට වඩා වසර දෙකකින් පමණ වැඩිමල් පිරිමි ළමයෙකු එම සරුංගලයේ නව අයිතිකාරයා වී තමාට පෙනෙන්නටම එය ඉහළට යවන අයුරු…..

“ අප්… ප… ච්චී….. අයියෝ මගේ අප්ප… ච්…. චී ඉදලා වැඩක් නෑ…. හෑයි… හෑ…යි අර … අර….. අ…. ර….. අයියෝ මගේ….. සරුං…. ගලේ….. අන්න .. අන්න අතන කවුදෝ යවනවා… ’’ එසේ කියමින් අප්පච්චිගේ ගෙල බදාගෙන හැඩූ හැටි. කිසිත් නොකී අප්පච්චී රිසි සේ අඩන්නට ඉඩ දුන් අයුරු.

“ජීවිතේ කියන්නේ ඕක තමා දුවේ. ඔයාට නැති වුණේ සරුංගලයක්! ඒක සරුංගලයක් වුණත් ඔයාගේ ඒ ලස්සන සරුංගලේ වෙන කෙනෙකුට අයිති වෙලා දුවට පෙන්ටම උඩ යවනකොට හිතට අමාරුයි තමයි. ඒත් මතක තියා ගන්න ඔයිට වඩා වටින දේවල් අපිට නැති වෙන්න පුළුවන් බව. හැබැයි ඒ හැම දෙයක්ම අපිට නැවත ලබා ගන්ට පුළුවන්. කාලය අපිට ඒ හැම දෙයක්ම ඊට වඩා ලස්සනට අපිට ආයිත් දවසක ගෙනත් දෙනවා. එතකල් ඉවසන එක තමයි දුවේ දක්ෂකම. අනේ මන්දා… දුවට මේවා තේරෙයිද කියලා… ගෑනු ළමයි ලොකු මහත් වෙලා හොදට ඉගෙන ගත්තහම සමහර විට ලොකු අයියලා එක්ක යාලු වෙන්ට වෙනවා. අද යාලු වෙලා හිටපු පිරිමි ළමයා හෙට වෙන ගෑනු ළමයෙක් එක්ක යාලු වුණොත්….. එතකොට කොහොමද හිත හදා ගන්නේ? ඒක හින්දා දැන්ම ඉදලම හිත හදා ගන්න පුරුදු වෙයන් මගේ දුවේ….. ඒක උඹ ගන්න උපාධි දාහකට වඩා වටිනවා! ’’

වසර පහළොවක් තිස්සේ අළුවලින් වැසී තිබුණ එම වදන් පෙළ ඇගේ හද පුරා වේදනා නාශක පෙත්තක් මෙන් නොනවත්වා පැතිරෙමින් ඇත. “ මම අප්පච්චි බලන්න ගමේ යනවා. යැයි දුරකථන කුටියකින් මිතුරියකට ඇමතුමක් දුන් ඇය සුවද පහ දැමූ සරුසාර බුලත් විටක් මිලදී ගෙන කදුලින් පෙගුන දෙනෙත ලේන්සුවෙන් පිස දමමින්ම මහනුවරින් කුරුණෑගල දක්වා දිවෙන බස් රථයකට ගොඩ වූවාය.
—————————————————–
නිශාන්ත වැලිඅංග
————————————————-
කියවන්න දෙවියන්ගේ ගැහැනිය / සමරදිවාකරගේ භාර්යාව… නිශාන්ත වැලිඅංග ලියූ කෙටිකතා
නුගේගොඩ සරසවි ඇතුළු සරසවි ප්ර-දර්ශනාගාරවලින්

Submit your review
1
2
3
4
5
Submit
     
Cancel

Create your own review

සරුංගලය
Average rating:  
 0 reviews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *