හිට්ලර්ගේ තරුණ විය (1904-1908)

2. හිට්ලර්ගේ තරුණ විය (1904-1908)

හිට්ලර්ගේ තරුණ විය (1904-1908)

ලූලා නැති වලට කණයා පණ්ඩිතයා වූවා සේ් පියාගේ ඇවෑමෙන් නිවසේ එකම පිරිමියා වූයේ හිට්ලර්ය. නොපමාව සිය මව හා හත් හැවිරිදි නැගනිය වූ පෝලා කෙරේ අධිපති කම් පෑමට ගත් ඔහු වහා ගත් එක් තීරණයක් වූයේ සිය පාසල් ගමන අත් හිටුවීමයි. ඉන් කිසිදු ඵලක් නොමැත. ‘වේල සරි කොට ගැනීමේ’ අරමුණින් රැකියාවක් කිරීමේ සූදානමක් තමා තුල නැතැයි හේ නිවේදනය කළේය. ශෝකයට පත් මව හඬා වැලපෙන්නට වූවාය. එහෙත් තමා ඒ වෙනුවට අගනුවර චිත්‍ර කලා ඇකඩමියට ඇතුල් වීමට අදහස් කරන බවත් එය පාසැල් ගමනට වඩා බොහෝ ඵලදායී බවත් ඒත්තු ගන්වා ඈ සැනසීමට ඔහුට අපහසු නොවීය.

හිට්ලර් විසින් අදින ලහ දිය සායම් චිත්‍රයක් 1908-1909 (දිනය අපැහැදිලිය)
හිට්ලර් විසින් අදින ලහ දිය සායම් චිත්‍රයක් 1908-1909 (දිනය අපැහැදිලිය)

මෙසේ තමා අතිශය ආශා කළ පරිදි කාලයේ ස්වාමිත්වය දිනාගත් හිට්ලර් එතැන් පටන් කල් ගත කළේ මායාකාරී සිතිවිලි ලෝකයක් තුලය. තමා කවදත් ආදරය කල චිත්‍ර කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය තුල මිඩංගු වීම සඳහා ඔහුට දැන් ඉස්පාසුවක් ඇත. ඊට බාධා කිරීමට පියා හෝ ගුරුවරු නොවීම පිළිබඳ හේ බොහෝ ප්‍රීති විය. සිය කාමරය තුල වැදී දොර වසා ගන්නා ඔහු ලින්ස් නගරය සඳහා දැවැන්ත නව ගොඩනැගිලි හා පාලම් ඉමහත් සැලකිල්ලෙන් සැලසුම් කරන්නේ වහා වැඩ නිම කරන ලෙස රජයෙන් තමාට පෞද්ගලිකවම නියෝග ලැබී ඇතිවාක් මෙනි.
දැවැන්ත චිත්‍ර කඩදාසි මත තීන්තෙන් ඇඳි ඒ සැලසුම් ඉතා පැහැදිලිය; විස්තරාත්මක බවින් අනූනය. හිට්ලර් සවස් කාලය ගත කරන්නේ නුවර සිරි නරඹමින් වීථි සක්මනේ යෙදෙමිනි. එහෙත් මහා සංගීතඥ රිචඩ් වැග්නර්ගේ සංගීත නාට්‍යකින් රඟ දැක්වෙන්නේ නම් එදාට ඔහු නොවැරදීම ඔපෙරා ශාලාවේය. කථාංගය හා සංගීතය පමණක් නොව වේදිකා සැකැස්ම හා වාදකයන්ගේ ඇඳුම් පැළඳුම් ගැන පවා ඔහු උනන්දු විය. වේදිකාව මත දිග හැරෙන වීරයන් හා අසුරයන්, පරිත්‍යාග හා පාවාදීම්, මහිමාවින්ත ජය හා වීරෝදාර මරණය වැනි සංවේදී තේමා මගින් ඇති කල උත්තේජනය ඔහු තුල ප්‍රබල හැඟීම් දැනවූ බවට නිසැකය. ඔපෙරා නාටකයේ වීරයා වෙසෙසින්ම ප්‍රිය කළේය. හේ මහා කලා ශූරීය; ආගන්තුක විප්ලවවාදීයෙකි; සතුරා සමඟ ගනුදෙනු පිලිකෙව් කරයි; මරණය තෙක් සටන් වැදීමට සූදානම්ය… බඩ වියත රැක ගැනීමට රැකියාවක නොයෙදෙන ඔහුගේ ජීවිතයේ පරමාදර්ශය සිවිල් සේවකයකු ලෙස හැබ්ස්බර්ග් වරුනට දීන ලෙස බැලමෙහෙවරකම් කිරීමට වඩා බොහෝ උසස්ය.
වැන්දඹු විශ්‍රාම වටුපකට හිමිකම් කිවූ මව මුළුතැගෙයි තනන රසමසවුළු භුක්ති විඳිමින්ද, කුඩා නැගනිය ලවා අතට පයට ආවතේව කරවා ගනිමින් ද, සම්භාව්‍ය කලාව රස විඳිමින්ද සුවපහසු ලෙස කල්ගත කල හිට්ලර් ගේ ජීවිතයේ එක් තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස ලින්ස් හි ඔපෙරා ශාලාව සැලකිය හැක්කේ එය වර්ධනය වෙමින් පැවති ඔහුගේ පෞරුෂයට ඇති කළ ප්‍රබල බලපෑම නිසාම පමණක්ම නොවේ. තරුණ වියේ ඔහුගේ කළණ මිතුරා වූ ඕගස්ට් කුබිසෙක් හමුවූයේද ප්‍රසංගයක් අතරතුරදී වීම නිසාය.
මෙට්ට සාදන්නෙකුගේ පුතෙකු වූ කුබිසෙක් ද සංගීත ලෝලියෙකි. එහෙත් මිත්‍රත්වය දළුලා යාමට හේතු වූයේ එය නොව තමා හිට්ලර් වයසින් වසරක් වැඩිමහළු වග නොතකමින් ඔහුගේ නායකත්වය පිළි ගැනීමට කුබිසෙක් කැමැති වීම යැයි සිතිය හැක. යුගයේ ශ්‍රේෂ්ඨතම චිත්රම ශිල්පියා වීම එකල ඔහුගේ සිහිනය වූ බවත්, තම සිත්ගත් ඕනෑම දෙයක් සීමාන්තිකව
හැදෑරීමේ ආශාවෙන් ඔහු පෙළුන බවත් පසුකලෙක කුබිසෙක් විසින් රචිත ‘මා දත් තරුණ හිට්ලර්’ [Young Hitler I Knew] යන කෘතියේ සඳහන් කොට ඇත.
කුබිසෙක් දුටු හිට්ලර් හීන්දෑරි ගැටවරයෙකි. ඔහුගේ ඇඳුම චාම් ය; ඉතා පිරිසිදුය. පාසැලෙන් කට්ටි පැන්නද, කිසිදු කර්මාන්තයක් ඉගනීම ප්‍රතික්ෂේප කළද, හේ සියළු දුසිරිතෙන් තොරය. ඔහු බොහෝ පොත පත කියවීය. සෞන්දර්යට ආශා කළේය. “පුතාගෙ යාළුවට තියෙන්නෙ මහ පුදුම ඇස් දෙකක් නොවැ!” කුබිසෙක්ගේ අළුත් මිතුරා දුටු ඔහුගේ මව කීවාය.
හිට්ලර්ගේ සිතුම් පැතුම් අතිශය බරපතලය; අවංකය. පවතින ලෝකයේ අඩු පාඩු කටුක ලෙස විවේචනය කරයි. විසඳුම් ලෙස ඔහු ඉදිරිපත් කළ යෝජනා අතිශය රැඩිකල් වාදීය. සකස් කල සැලසුම් ඉතා සවිස්තරාත්මකය. ඒ පිළිබඳ ඔහු කරන විස්තරයට සවන් දෙන ඕනෑම අයෙකුට හැඟෙනු ඇත්තේ මෙම ව්‍යාපෘතිය අත හෙටම ඇරඹෙනු ඇති බවයි.
මහත් පරිශ්‍රමකින් ඉතා විස්තරාත්මකව ඇඳ තිබූ දැවැන්ත ගොඩනැගිලි හා පාලම් ඉදිකිරීමේ සැලසුම් වෙනුවෙන් මුදල් වියදම් කවුදැයි කුබිසෙක් වරක් ඇසුවේ නිකමට මෙනි. හිට්ලර් කෝපවිය.
“සල්ලි? බල්ලොත් නොකන සල්ලි! සල්ලි යකාට යද්දෙන්!” පිළිතුර එපමණකි.

තරුණ හිට්ලර් (1914 ජුලි මස හයින්රිච් හොෆ්මන් විසින් ගන්නා ලද සමූහ ඡායා රූපයක අහඹු ලෙස සටහන් ව පසුව සොයා ගැනින)
තරුණ හිට්ලර් (1914 ජුලි මස හයින්රිච් හොෆ්මන් විසින් ගන්නා ලද සමූහ ඡායා රූපයක අහඹු ලෙස සටහන් ව පසුව සොයා ගැනින)

වරක් දෙමිතුරෝ අත ඉතිරිව තිබූ මුදලින් හවුලේ ලොතරැයියක් මිලදී ගැනීමට තීරණය කලහ. දින ගණනාවක් මුළුල්ලේ දිනුම් ඇදීමේ කොන්දේසි හා නීති රීති හැදෑරූ හිට්ලර් තවත් පැය ගණනක් ලොතරැයි හලේ එකල මෙකල වී අවසානයේ එක් ටිකට් පතක් තෝරා ගත්තේය. එම අංකයට මුල් දිනුම හිමි වන බවට ඔහුට කිසිම සැකයක් නොවීය. තම විශ්වාසයට හේතුව මේ යැයි ඔහු කුබිසෙක්ට කිසි විටෙකත් විස්තර නොකළේය. දැන් ගැටළුව වූයේ එය නොව තෑගි වශයෙන් ලැබීමට නියමිත මේ සා විශාල මුදල වියදම් කරන්නේ කෙසේද යන්නයි.
හිට්ලර්ගේ මූලික අරමුණ වන ලින්ස් නගරය යලි ගොඩ නැගීමට නම් එය ප්‍රමාණවත් නොවන බව මුල සිටම ඉතා පැහැදිලි විය. එහෙයින් නිවසක් මිලදී ගැනීම මැනවයි ඔහු තීරණය කළේය. අතිශය කලාත්මක ලෙස නිමැවෙන පරිසරයක් තුල ඔහු හා කුබිසෙක් අධ්‍යයන කටයුතු හා නිර්මාණ වල යෙදෙමින් ජීවත් වනු ඇත. කුබිසෙක් ගේ සංගීත පුහුණු කටයුතු වලින් සිය නිර්මාණකරණයට බාධා නොවනු පිණිස දෙදෙනා ගේ කාමර හැකිතාක් දුරින් පිහිටා තිබිය යුතු යැයි හිට්ලර් විශේෂයෙන් කියා සිටියේය. සහෝදරයන් මෙන් එකම ආකාරයෙන් හැඳ පැලඳ කලා කටයුතු වල යෙදෙන දෙදෙනාගේ ආවතේව කරනු ඇත්තේ වැදගත් පෙනුමැති මැදි වියේ ගෘහ පාලිකාවක් විසිනි…කෙතරම් සුන්දර සිහිනයක්ද? අනාගත නිවසේ ගෘහ භාණ්ඩ, බිම් පලස් හා බිත්ති සැරසිලි එකි නොකී සියල්ල හිට්ලර් විසින්ම සැලසුම් කළ අතර ජනෙල් තිර රෙදි ගැන තීරණය කිරීම පමණක් කුබිසෙක්ට පැවරිණ.
සියල්ල යහතින් සිදු වීමට ඉඩ තිබිණ. එහෙත් එසේ නොවූයේ ඔවුන්ගේ ටිකට් පතට සැනසිලි ත්යාදගයක් හෝ ඉතිරි නොකොට ලොතරැයි දිනුම් ඇදීම අවසන් වීම නිසාය. වියරු වැටුන හිට්ලර් ප්‍රථිඵල ලැයිස්තුවත් අතැතිව කුබිසෙක් සොයා දිව ගියේය. සිය මිතුරා එතරම් කෝපවී සිටිනු කුබිසෙක් ඊට පෙර දැක තිබුනේ නැත. මිනිස් දුර්වලකම් වලින් නින්දිත ලෙස ගසා කෑම සඳහා නිළ වශයෙන් සංවිධානය වී පුරවසියන් ගේ මුදල් වංචා කරන රාජ්‍ය ලොතරැයි කාර්යාලයට ඔහු දස අතේ දෙස් දෙවොල් තැබීය.
“අහේතුක විදියට බලාපොරොත්තු තබා ගැනීම ගැන පළමුව දොස් කියා ගන්න ඕන තමාට කියල ඇඩොල්ෆ් ට කවදාවත් හිතුනෙ නෑ… ඒ ඒයාගෙ හැටි” කුබිසෙක් පවසයි.
රජයටද පවතින ක්‍රමයටද තවත් බොහෝ වේලාවක් තිස්සේ බැන වැදුන ඔහුගේ අවසන් නිගමනය වූයේ මේ සියල්ලට මුල හැබ්ස්බර්ග් රජ පෙළපත අනේක විවා මඟුල් හරහා ජාතීන් දහයක් හෝ දොළහක්-හරියටම කීයක් දැයි දන්නේ දෙවියන් පමණි-එක් කොට අටවා ගත් කාලකන්නි අධිරාජ්‍යය බවයි!

හිට්ලර් විසින් පැන්සලෙන් අඳින ලද වොක්ස්වැගන් රථයේ මුල් ආකෘතිය (1932)
හිට්ලර් විසින් පැන්සලෙන් අඳින ලද වොක්ස්වැගන් රථයේ මුල් ආකෘතිය (1932)

සිය මව සමඟ පුරුද්දක් ලෙස සවස් කාලයේ වීථි සක්මනෙහි යෙදුන ලින්ස් නුවර විසූ ඉහල පංතියේ තරුණියක් වූ ස්ටෙෆනි අයිසැක් හිට්ලර්ගේ ඇස ගැටෙන විට ඔහුගේ වයස දහසයකි. දුටු පළමු දිනයේ ඈ කෙරේ බැඳුන සිතැති ඔහු ඈ දුටුවේ නිර්මල බවේ සංකේතයක් ලෙසය. එය සතුටුදායක ලෙස අවසන් වී නම් ඉන් මහත් සෙතක් සැලසීමට ද ඉඩ තිබිණ. විශාලතම ගැටළුව වූයේ හිට්ලර්ගේ අදහස් පිළිබඳ ඔහු තෝරාගත් පෙම්වතිය හාංකවිසියක් හෝ නොදැන සිටීමය. දැන ගත්තද ඉන් එතරම් යහපතක් අපෙක්ෂා කිරීම උගහට වූයේ රැකියාවක් නැති තරුණයකුට දියණියක කරකාර බන්දවා දීමට කිසිදු මවක් ඉදිරිපත් නොවීමයි.
ස්ටෙෆනි සිය මව සමඟ සවසට වීථි බසින වේලාව බලමින් හොර ගල් අහුලන හිට්ලර් ඔවුන් මුහුණට මුහුණ ලා හමුවන සේ අහම්බයෙන් මෙන් ඉදිරියට ඇවිද එන්නේ කුබිසෙක් ද සමඟය. ඇතැම් දිනක ස්ටෙෆනි ඔවුන් හා යන්තම් සිනාසෙන්නීය. එදිනෙදා මහමඟ දකින සහෝදර නගර වාසීන් දෙදෙනෙකු වෙත පල කෙරන හිතවත් කමේ ලකුණක් හැර අන් කිසිවක් කුබිසෙක් එහි නුදුටුවද හිට්ලර්ගේ අපේක්ෂා පුබුදුවාලීමට එය සෑහේ . ඔහුගේ මතය වූයේ එය ඈ සිය හැඟීම් තේරුම් ගෙන ඇති වගට පළකල ඉඟියක් බවයි.

එපමණකින් උණුසුම් වූ සිතැති හිට්ලර් ඇගේ හා තමාගේ ඉදිරි අනාගතය සැලසුම් කිරීමට පටන් ගත්තේය. නුදුරේදීම ඔහු යුගයේ ශ්‍රේෂ්ඨතම සිත්තරා වනු ඇති; එතෙක් ඈ බලා සිටින බවට කවර සැකයක් ද? අනතුරුව විවාපත් වන යුවල පදිංචි වනු ඇත්තේ ඈ වෙනුවෙන්ම ඉදිකෙරෙන දැවෙන්ත ‘විලා’ ගෘහයකය. සියළු ගෘහ භාණ්ඩ ඇගේ රුචියට අනුව තෝරා ගැනෙනු ඇත. එම අගනා ගොඩනැගිල්ලේ සවිස්තරාත්මක සැලසුමක් ඔහු නොපමාව ඇන්දේය. මේ දිනවල නිතර සතුටින් පසුවූ ඔහුගේ අහාර රුචියද ඉතා යහපත් ය. ස්ටෙෆනි පිළිබඳ එදිනෙදා තොරතුරු විශ්වාසවත් කුබිසෙක් විසින් වාර්තා කරනු ලැබේ. දෙදෙනා අතර දැන් රහසක් නැති තරම්ය. ජීවිතය මෙතරම් සොඳුරු අත්දැකීමක් විය හැකි බව මීට පෙර කිසිදා ඔහු නොදැන සිටියේය.
එහෙත් අව්‍යාජ ප්‍රාර්ථනා බියකරු සිහිනයක් බවට පෙරළීමට ඒ හැටි කළක් ගතවූයේ නැත. දිනක් ඔහු හමුවීමට පැමිණි කුබිසෙක් සැල කොට සිටියේ දින කිහිපයකට පොරොතුව ඉහල සමාජයේ සාදයක සහභාගී වූ ස්ටෙෆනි තරුණ හමුදා නිළධාරීයෙකු සමඟ බාල් නැටුමකට සහභාගී වී ඇති බවයි. මෙය ඈ සහභාගී වූ පළමු සන්ධ්යා නැටුම විය නොහැකි වගද වාර්තාවෙන් වැඩි දුරටත් කියැවිණ.

හිට්ලර් ගේ ගජ මිතුරා වූ ඕගස්ට් කුබිසෙක්
හිට්ලර් ගේ ගජ මිතුරා වූ ඕගස්ට් කුබිසෙක්

මේ අසා ඊර්ෂ්‍යාවෙන් වියරු වැටුන හිට්ලර් දින ගණනාවක්ම මූසල කපුටුවෙකු සේ නොකා නොබී කාමරය තුලට වැද හොත්තේය. අසරණ ඔහු කුමක් කරන්නද? ඇගේ අත පැතීමට ඔහුට වඩා බොහෝ සුදුස්සෝ නගරයේ වෙත්. සිය පුතුගේ හදිසි වෙනස නිසා බියට පත් ක්ලාරා හිට්ලර් ඔහුගේ කලණ මිතුරු කැඳවා කරුණු විචාල මුත් කුබිසෙක් ගෙන් හරි හමන් වචනයක් ගැනීමෙහිලා අපොහොසත් වූවාය.
හෙණ ගෙඩියක් මෙන් කඩා පාත් වූ අසුභ පුවත ඇසීමෙන් හටගත් කම්පනය වියැකීමෙන් ඉක්බිතිව තරමක් සන්සුන්වූ හිට්ලර් සතියක් පමණ ගතවන විට යමක් තේරුම් බේරුම් ඇතිව සාකච්ඡා කළ හැකි මට්ටමක සිටියේය. මේ අතර කුබිසෙක් ට දීප්තිමත් අදහසක් පහළ විය. හිට්ලර්ද ජෝඩු නැටුම් උගෙන ඈ හා සාද වලට සහභාගී නොවන්නේ මන්ද? හිට්ලර් ඊට අකැමති විය; මධ්‍යම පාංතික අරුමෝසම් ඔහු පිළිකුල් කරයි. ඒ නැතත් ඔහුට සාද වලට ආරාධනා කිරීමට මිතුරෝ නොවෙති. එහෙයින් ඔහු කෙල්ල පැහැරගෙන යාමට අර ඇන්දේය. ඒ සැලැස්ම ඉතා සරල විය. ස්ටෙෆනි සිය මව සමඟ වීථියේ ඇවිද එන විට කුබිසෙක් ඔවුන් ඉදිරියට ගොස් ආචාර කොට මැහැල්ල සමඟ කිසියම් කතා බහක් පටන් ගත යුතුය. ඒ අවසරයෙන් හිට්ලර් තරුණියද රැගෙන පලා යනු ඇත.
“හරි, ඒක කරා කියමුකො. ඊට පස්සෙ කොහේද යන්නෙ? ගිහින් ජීවත් වෙන්නෙ කොහොමද?” යහපත් කුබිසෙක් ප්‍රායෝගික කරුණු ගැන නිරන්තරයෙන් ඔහුගේ අවධානය යොමු කරවීය.යැහෙත් හිට්ලර් නිරුත්තරය. බොහෝ වේලාවක් තිස්සේ ඔහු සිතිවිල්ලේ පසුවිය. ප්රෙශ්නයේ බරපතකල කම ඔහුට වටහා ගත්තා විය යුතුය. ව්යාසපෘතිය එතෙකින් අත් හිටුවන ලදී. එසේ වුවදු මේ කාලය මුළුල්ලේම හිට්ලර් තම කුඩා සොයුරිය පෝලා සමඟ හොර රහසේ ‘වොල්ට්ස්’ පියවර කිහිපයක් නිසැකවම පුහුණු වන්නට ඇතැයි කුබිසෙක් අනුමාන කළේය.

තමා ඉදිරියේ ඇති උභතෝකෝටික ගැටළුවට අන් විසඳුමක් නුදුටු හිට්ලර් ස්ටෙෆනි ද සමඟ නගරයේ පාලම මතින් ඩැනියුබ් ගඟට පැන නාට්යමයමය ලෙස දිවි නසා ගැනීමට අදහස් කළේය. සමස්ත ලින්ස් පුරවරයම නිසැකවම කළඹනු ඇති මේ මහා ශෝකාන්තයේ එකම සාක්ෂි කරුවා ලෙස තෝරා ගැනුනේ අසරණ කුබිසෙක්ය.
එහි සෑම පියවරක්ම නාට්ය මය ලෙස සැලසුම් කෙරුන අතර ඛේදජනක පුවත නගරයට සැල කල යුතු ආකාරය පිලීබඳ කුබිසෙක්ට විස්තරාත්මක උපදෙස් නිකුත් කෙරිණ. තමා මුහුණ පෑමට නියමිත බිහිසුනු අත්දැකීමේ පීඩනය දරා ගත නුහුනු කුබිසෙක් රෑ කිහිපයක් ගත කළේ නිදි වර්ජිතවය. මේවා කාට කියන්නද? ඔහුගේ බලවත් සහනය හේතු වෙමින් නොබෝ දිනක් ගත වෙත්ම දිවි නසා ගැනීම පිළිබඳ කතා බහ කෙමෙන් අඩු වී ගියේය. එයද විකාර අදහසක් බව හිට්ලර් වටහා ගත්තා විය යුතුය. අනතුරුව ඔහු සන්සුන් විය.
නොබෝ දිනකට පසු සවස් යාමයේ කුබිසෙක් දැකීමට පැමිණි හිට්ලර් තමා සියල්ල අතහැර චිත්‍ර ශිල්පය වැඩි දුර හැදෑරීම පිණිස වියානාව බලා යන බව අඹ යහළුවාට පැවසීය.
හේතූන් කවරක් වුවද ස්ටෙෆනි විවාහ කොට ගැනීමට හිට්ලර් ට අවස්ථාව අහිමි වීම ඔහුගේ පමණක් නොව ලෝකයේම අවාසනාවකි. නො එසේ නම් දෙවන ලෝක යුද්ධයක් ඇති නොවීමට බෙහෙවින් ඉඩ කඩ තිබිණ.

ශිල්පය මනා උගෙන යුගයේ මහා සිත්තරා වී ස්ටෙෆනි ගේ මවට උජාරුව පෙන්නන්නෙමැයි අදිටනින් දහසකුත් එකක් බලපොරොත්තු පොදි බැඳගෙන ගිය ඔස්ට්රිනයාවේ වියානා නගරය බලා හිට්ලර්ට මුහුණදීමට සිදුවූයේ නොසිතූ අකරතැබ්බකටය. චිත්‍ර කලා ඇකඩමිය මූලික පරීක්ෂණයෙන් ඔහු අසමත් කළේය. මේ පිළිබඳ කරුණු විමසීමට ඔහු ආයතනයේ අධිපතීන් හමු වුවද ඵලක් වූයේ නැත.
“ඔය ළමයගේ හැකියාව තියෙන්නෙ චිත්‍ර කලාවට නෙවෙයි ගෘහ නිර්මාණ ශිල්පය පැත්තට. මේ පේන්නෙ නැද්ද ඇඳපුවගෙ විදිය? වැඩි අවධානය තියෙන්නෙ ගොඩනැගිලි වලට. මිනිස් රූප බොහොම අඩුයි. ඒ හන්ද නරකද වාස්තු විදුහල පැත්තෙ ගිහින් කතා කරල බැළුවොත්?”
විටෙක අවාසනාව පසුපස හඹා එන්නේ වීථි වල අයාලේ යන දඩෝරියන් මෙනි. වාස්තු විද්‍යා ආයතනයේ දොරටුවද ඔහුට වැසින! හිට්ලර් සතුව පාසලෙන් අස්වීමේ කඩදාසියක් නොමැත.

බලවත් සේ සිතින් කම්පාවට පත් වුවද හිට්ලර් තමාට මුහුණ දීමට සිදුවූ විපත ගැන කිසිවෙකුටත් නොකීවේය. ඒ වන විට ඔහුගේ මව පිළිකා රෝගයෙන් ඔත්පොල ව සිටියාය. පුතා සිත්තරෙකු වී ගමට එනු දැකීමට තරම් කල් තමා ජීවත් වීමට තමාට නොලැබෙතයි සිතමින් ඈ දැනටමත් ලතවන්නීය. එහෙයින් චිත්‍ර කලාව හදාරන සිසුවෙක් බව රටට ලෝකයට හඟවමින් තවදුරටත් ඔහු අරමුණකින් තොරව වියානා නුවරම රැඳී සිටියේය. ඔහුගේ තාවකාලික නවාතැන වූයේ මැල්ඩමාන් වීථියේ අංක විසි හත දරණ පිරිමි නේවාසිකාගාරයයි.
අඩු තරමින් සිය කළණ මිතුරා වූ කුබිසෙක්ට පවා හිට්ලර් තමාට සිදුවූ අබැද්දිය හෙලි කිරීමට නොසිතූ හිට්ලර් වියානා නුවරට වී ගත කලේ දුක්ඛිත ජීවිතයක් ගත කළේය. අගහිඟ කම් වලින් මිරිකුන ඔහු ගේ දෛනික ආහාරය වූයේ පාන් ගෙඩියක් හා කිරි බෝතලයකි; නැතහොත් හාමතේ පසු විය.
සිය දයාබර පුතු වියානා චිත්‍ර කලා ඇකඩමියේ දීප්තිමත් සිසුවෙක්ය යන අචල විශ්වාසයෙන් පහන් වූ සිතැති හිට්ලර්ගේ මව එක්දහස් නවසිය හතේ නත්තලට දින කිහිපයකට පොරොතුව අවසන් හුස්ම හෙළුවාය. මිය යාමට කලින් කුබිසෙක් සිය මරණමංඡකය අසලට කැඳවූ ඈ සිය පුතා ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටියේ හිට්ලර්ට වෙනත් මිතුරන් නොසිටි බව දැන සිටි නිසා විය යුතුය. යහපත් කුබිසෙක් ද කඳුළු සලමින් එය ඉටු කරන වගට ඈට පොරොන්දු විය.
අවමඟුලින් දින කිහිපයකට පසු නිවෙස හා දෙමාපියන්ගේ ගෘහ භාණ්ඩ එකොලොස් හැවිරිදි නැගනියට පවරා දුන් හිට්ලර් ඈ ඥාතීන්ට භාර කළේය. ඔවුනතර වූ වයස් පරතරය නිසාදෝ ඔහු පෝලාට එතරම් සමීප නැත. අනතුරුව ඔහු නැවත වියානාව බලා යාමට සූදානම් වූයේ තමා සිසුවෙක් බව තවදුරටත් හඟවමිනි. සංගීතය ඉගනීම සඳහා තමා සමඟ වියානාවට පැමිණෙන්නයි සමුගැනීමට පැමිණි කුබිසෙක් ගෙන් හේ උදක්ම ඉල්ලා සිටියේය. මවගේ මරණයත් සමඟ හටගත් අධ්යාෙත්මික රික්තය තුල සිටි ඔහුට ඕනෑ කළේ සමාගම් පැවැත්වීම සඳහා මිතුරා තමා අසලක සිටීමයි.
වැඩිදුර ශිල්පය හදාරා සංගීතඥයකු වීම බොහෝ කලෙක පටන් කුබිසෙක් ද දුටු සිහිනයකි. සිය සගයා ගැන සොයා බලන වගට ඔහුගේ මවට දුන් ඉටු කළ යුතු පොරොන්දුවක් ද ඇත. එහෙයින් ඔහු අදහසට එක පයින් කැමති විය. ගැටළුව වූයේ කුබිසෙක් ගේ පියා ගෙන් එල්ලවූ දැඩි විරෝධයයි. පාරම්පරික කර්මාන්තය අතහැර වියානාවට ගොස් සංගීතය හැදෑරීමට මහළු මෙට්ට සාදන්නා අවසර නුදුන්නේය.

අවසානයේ ගැටළුව නිරාකරණය කිරීමට හිට්ලර් ඉදිරිපත් විය. ඔහු මේ පිළිබඳ කතා බහ කළේ එය ඉතා නොවැදගත් ගැටළුවක් බවත්, එහි අවසන් තීරණය මුළුමනින්ම පියා සතු බවත් ඒත්තු යන ආකාරයටය. කෙසේ වුවද සංගීතය තවදුරටත් හැදෑරීමේ වාසිද බොහෝය. කුබිසෙක් වැනි සංගීතයට උපන් හපන් කම් ඇත්තෝ සුලබව නොවෙත්. “කව්ද දන්නෙ?” හිට්ලර් දෙඋර සොලවමින් තමාටම මුමුණයි. “බාග වෙලාවට යුගයේ ශ්‍රේෂ්‍ඨතම සංගීතඥයා වෙන්නත් බැරි නැහැ. මොකද බැරි? වෙන්න පුළුවනි.”
දෙනෙතට නැඟුන කඳුල කුබිසෙක් ගේ මව පිසලා ගත්තාය.
“ඕව කවද වෙන දේවල්ද?” පියා බී අවසන් කල තේ කෝප්පය බේසය මත තැබුවේ මහ හඬිනි. එහෙත් ඔහු පසුබසිමින් සිටි වග පැහැදිලිය. දුර්මුඛව සිටි මහල්ලා තවත් සුළු විරෝධතා කිහිපයක් දැක්වීමෙන් පසු සුසුම් හෙලා ගමනට අවසර දුන්නේය. “යන තැනක අවංකව නම තියාගෙන ඉඳපන්.” අවසානයේ ඔහු කීවේ එපමණකි.
කුබිසෙක් පැවසුවේ සිය දරදඬු පියා මෙලෙස නම්මා ගත හැකි වීම තරුණ හිට්ලර්ගේ කතා බහ හා ඉරියව් තුල වූ අසාමන්ය ඒත්තු ගැන්වීමේ ශක්තිය ගෙන හැර පෑමට ඇති අගනාම උදාහරණය බවයි.
කුබිසෙක් වියානාව බලා පැමිණි නවසිය අටේ පෙබරවාරියේදීය. කලින්ම පැමිණ සිටි හිට්ලර් කතිකා කොටගත් පරිදි දුම්රිය පොලට පැමිණ සිටියේය. ස්ටම්පර්ගැසේ වීථියේ අංක විසි නවය දරණ ස්ථානයේ වූ ගෘහ භාණ්ඩ සහිත හිට්ලර්ගේ කාමරයේ දෙදෙනාම නවාතැන් ගත්හ. කුලිය දෙදෙනා අතර බෙදී යනු ඇත. කුබිසෙක් ගේ පැමිණීම වෙනුවෙන් හිට්ලර් තම සුපුරුදු පාන් ගෙඩිය හා කිරි බෝතලයට අමතරව පත්තර පිටුවක එතූ සොසෙජස් කරල් කිහිපයක් ද ඔහු ඉදිරියේ දිග හැරියේය. කෑමෙන් පසු හති ඇරීමට පවා ඉඩක් නොලද කුබිසෙක් බලාත්කාරයෙන්ම ඔපෙරා ශාලාව නැඹීමට රැගෙන යන ලදී. “වියානාවට පය ගහපු මනුස්සයෙකුට ඔපෙරා ශාලාව නොදැක නිදා ගන්න පුළුවන්ද?” අනාගත අඥාදායකයා සමඟ කුබිසෙක් දුක සැප බෙදාගත් අමතක නොවන සුළු දහ අට මසක ආරම්භයයි ඒ.
සංගීත විදුහලේ ඇතුලත් වීමේ පරීක්ෂණය කුබිසෙක් අපේක්ෂා කලාට වඩා බොහෝ පහසු විය. වාදක කණ්ඩායමට පවා තෝරා ගනු ලැබූ ඔහු නොබෝ කලකින්ම එහි දීප්තිමත් සිසුවෙකි. දිනපතා උදෑසන ඔහු පිටව යන විට හිට්ලර් පසු වූයේ තද නින්දේය; සවසට එන විට සුපුරුදු ලෙස වීථි සංචාරයේ ගොසිනි. ගොම්මන් කරුවල වැටෙන විට කාමරය සොයා එන ඔහු එක්කෝ රෑ බෝ වන තුරු පොත් කියවයි; නොඑසේනම් වියානා නගරයේ ගොඩනැගිලි හා පාලම් ප්රනතිනිර්මාණය කිරීම සඳහා විස්තරාත්මක සැලසුම් සකසයි. නාට්‍ය හෝ කාව්‍ය
ප්‍රබන්ධයේ යෙදෙන ඔහු පුරාණ ජර්මන් වෘත්තාන්ත ඇසුරින් වරක් ඔපෙරාවක් සම්පාදනය කිරීමට පවා අදහස් කළේය.

බොහෝ වෙහෙසට පත්ව සිටින කුබිසෙක්ට නින්දට යාමට ඉඩක් නොදෙන හිට්ලර් අනතුරුව මැදියම් රැය පසු වන තුරුත් රටේ තොටේ අඩුපාඩු හා ඒවා නිවැරදි කලයුතු අන්දම විස්තර කරයි. මේ පල් හෑලි වලට කන්දෙමින් හෝ කන් දෙන වග අඟවමින් වැතිරී සිටින කුබිසෙක් චිත්‍ර ඇකඩමියේ ඉගෙන ගන්නා හිට්ලර්ට මෙතරම් විවේකයක් ලැබෙන්නේ කෙසේදැයි කිරා වැටෙමින් මවිත විය; පුද්ගලයාගේ හැටි දන්නා හෙයින් අනවශ්‍ය ප්‍රශ්න නැඟීමට නොසිතූ ඔහු හිට්ලර් මුහුණ පා සිටි අබැද්දිය පිළිබඳ හාංකවිසියක් නොදත්තේය.

බළලා මල්ලෙන් එළියට පැන්නේ නොසිතූ ලෙසය.
එය නා කපන වැසි සහිත දවසකි. හිට්ලර් කාමරය තුලට වැදී පොතක් කියැවමින් සිටියේ අයහපත් කාලගුණය නිසාය. කුබිසෙක් සුපුරුදු ලෙස පියානෝ වාදන පුහුණුව ඇරඹීය. මේ දිනවල ඔහු සංගීත විභාගයකට සූදානම් වේ. එහෙත් ඔහුට ස්වර කිහිපයකට වඩා හැඬවීමට ඉඩක් ලැබුනේ නැත. හිට්ලර් බෝම්බයක් මෙන් පුපුරා හැලුනේය.
“මේ මොන කරච්චලයක්ද? කණක් ඇහිල පොතක් කියවගන්නවත් නැද්ද…?”
කලෙක පටන් හිට්ලර්ට හොස්ස ලඟින් මැස්සා යන්න බැරි බව කුබිසෙක්ටද වැටහී නොතිබුනා නොවේ. දෙමාපියන් හෝ රැකියාවක් නැති තම අවාසනාවත් මිතුරාට ඔහු අනුකම්පා කරයි. කවදත් සාමකාමී ඔහු තම කාල සටහන බිත්තියේ එල්ලුවේය. එය දෙදෙනාටම කාලය බෙදා ගැනීමට උපකාරී වනු ඇත. එහෙත් හිට්ලර්ට උවමනා වූයේ විසඳුමක් නොව ප්‍රශ්නයක් ඔස්සේ තම කෝපය පිට කිරීමටයි. කාල සටහන පිළිබඳ ඇසූ ඔහු වඩාත් කුපිත විය.
“කාල සටහන එල්ල ගන්නවා තමුසෙගෙ බෙල්ලෙ” හිට්ලර් කෑගෑවේය. “කරන්න තියෙන්නෙ ඔය ඇකඩමි වලට ඩයිනමයිට් දාල පුපුරවලා දාන එකයි. නියම කලාකාමීත්වය කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති මෝඩ ගුරුවරු රොත්තක් ඕවැයි ඉන්නෙ…”
හිට්ලර් එක්වරම කලායතන වලට බැණ වදින්නේ මන්දැයි කුබිසෙක්ට නොවැටහේ.
“මොනව උනත් ගුරුවරුන්ට ඔහොම කතා කරන එක වැරදියි නේද? විශේෂයෙන් තමනුත් ශිෂ්යායෙක් වෙලා ඉන්න කොට…” කුබිසෙක් සියළු විදුහල් ඇදුරන් වෙනුවෙන් යමක් කීමට කට ඇරියා පමණි; එකෙණෙහිම ඔහු නිහඬ කරවනු ලැබීය.
“කථා කරන්න එපා ඔය නීචයො ගැන. උන් මාව ඇකඩමියට ගත්තෙ නෑ. ඒ හණමිටි නිළධාරීවාදී ඌරුමීයො මාව දොට්ට දැම්මා! චිත්‍ර කලාව ගැන ඕකුන් දන්න කෙහෙල් මලක් නෑ. ඔය මොට්ටයොන්ගෙ ඇකඩමි නැතුවට මට තනියම ඉගෙන ගන්න පුළුවන් මම උන්ට කරල පෙන්වන්නම්…තමුසෙට තේරෙනවද ගස්ට්ල් ? මේක මුන් මගේ අනාගතය විනාස කරන්න හිතාගෙනම කරපු අන්තිම තුච්ඡ වැඩක්….”
කුබිසෙක් මැනෙවින් තේරුම් ගත්තේය; ඒ සිය ඉගැන්වීම් තුලින් ඇති කොට හැකිව තිබූ ශක්තිය මෙන් සිය දහස් ගුණයක් බලවත් ජවයක් ප්‍රතික්ෂේප කිරීම මගින් වියානා චිත්‍ර කලා ඇකඩමියේ ගරු කටයුතු ඇදුරන් විසින් ඔහු තුල ජනිත කොට තිබූ බවයි. කරුණු එසේ නොවන්නට දෙවැනි ලෝක යුද්ධයක් ඇති නොවෙන්නට තවදුරටත් ඕනෑ තරම් ඉඩ කඩ තිබිණ

චාමර සිරිවර්දන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *