හිට්ලර් නම් ජාතිවාදියා (1908-1912)

3. හිට්ලර් නම් ජාතිවාදියා (1908-1912)

3. හිට්ලර් නම් ජාතිවාදියා (1908-1912)

චිත්‍ර කලා ඇකඩමියට ඇතුලත් වීමේ සිහිනය බොද වීමෙන් අනතුරුව පැහැදිලි හේතුවකින් තොරව වියානා නගරයේ තව දුරටත් රැදීසිටි හිට්ලර් ගේ අග හිඟකම් දිනෙන් දින ඉහල ගියේය. විටෙක පාන් ගෙඩියක් ගැනීමටවත් අත මුදල් නොවූ ඔහු නිතර කුසගින්නේ පසු වේ. හාමතින් ක්ලාන්ත වුවද සිය මිතුරාගෙන් හෝ පාන් පෙත්තක් වත් ගැනීමට ඔහු සූදානම් නැත. කුබිසෙක්ට මෙය තව දුරටත් බලා සිටිය නොහැකි විය. සිය මිතුරා හාමතින් සිටියදී තමා පමණක් කන්නේ බොන්නේ කෙසේද? මීට පිළිතුරු සොයමින් සිත වෙහෙසවූ ඔහුට සංගීත විදුහලේ කැන්ටිම ඉතා සහන මිලකට සිසුන්ට ආහාර පාන සපයන වග සිහි වූයේ හදිසියේය. තමා හා එහි යාමට එන ලෙස ඔහු කළ යෝජනාවට හිට්ලර් ද අකැමති නොවීය.
කැන්ටිමේ කොනක අසුන් ගත් හිට්ලර් වටපිට බැලීමට ඉස්පාසුවක් ලද්දේ තමා ඉතා ආශා කල කජු කේක් කැබලි කිහිපයක් ඉතා ගිජු ලෙස ගිල දැමීමෙන් අනතුරුවයි. ඉක්බිතිව ඔහුගේ මුහුණ අමනාපයෙන් අඳුරු විය. බහු වාර්ගික අධිරාජ්ය යේ සියළු ජාතීන්ට අයත් සිසු සිසුවියෝ අවට ඔබ මොබ සරති. ඔවුනතර යුදෙව්, චෙක්, පෝලිෂ්, මැග්යාර්, ස්ලෝවැක්, බොස්නියන්, රුතේනියන් ආදී එකී නොකී සියල්ලෝය.
“මේ වගේ තැනක ඉඳගෙන මනුස්සයෙකුට කන්න පුළුවන්ද?” තොල කට ලෙවකමින් ඔහු කෝපයෙන් පිම්බේය. යුදෙව්වන් හා ස්ලාව් ජාතිකයන් හිට්ලර්ට නයාට අඳුකොල මෙනි. ඔහු නැවත කිසි දිනෙක එහි ගියේ නැත.

හිට්ලර් විසින් අඳින ලද දිය සායම් චිත්‍රයක් (1910)
හිට්ලර් විසින් අඳින ලද දිය සායම් චිත්‍රයක් (1910)

කුබිසෙක් පවසන පරිදි හිට්ලර්ගේ දේශපාලන පිබිදීමේ ආරම්භය වූයේ මේ යුගයයි. සමාජ විෂමතා වඩාත් නිර්දය ලෙස විවේචනය කල හේ කල් යත්ම පාර්ලිමේන්තු මහජන ගැලරියේ නිත්‍ය ප්‍රේක්ෂකයෙක් බවට පත් විය. ඔහුගේ සිත තුලින් නැගී එන අදහස් මුදාලීමේ එකම මාධ්‍යය වූයේද අහිංසක කුබිසෙක්මය. දිනපතා නින්දට පෙර දේශනයකට සවන් දීම ඔහුගේ දින චර්යාවේ එක් අනිවාර්ය අංගයකි.
“මියැදෙමින් පවතින පාර්ලිමේන්තු ක්‍රමයේ වියැකී යන නාඩි ස්ඵන්දනය හඟිමින් ඇඩොල්ෆ් සතුටු උනා…”
මේ අතරතුර ඔහුට අළුත් අදහසක් පහල විය. ඒ රට පුරා නගර ගම් දනව් ඔස්සේ සංචාරය කරමින් මහජන රසාස්වාදය පිණිස ප්‍රසංග පවත්වන ජංගම වාදක කණ්ඩායමක් සැලසුම් කිරිමයි. එය මුළුමනින්ම සෛද්ධාන්තික අභ්‍යාසයකි. එහි වාදකයෝ සිය දෙනෙකුගෙන් සමන් විතය.. මෙය කුබිසෙක් පරිණත දැනුමක් ඇති ක්ෂේත්‍රයක් වූ හෙයින් ඔහුගේ අදහස් වලට වැඩි ඉඩ කඩක් තිබිණ. එහෙත් තිබිය යුතු සංගීත භාණ්ඩ හා වාදකයන්ගේ ඇඳුම පිළිබඳ එකඟත්වයකට ඒම අපහසු විය. මනඃකල්පිත අදහස වෙනුවෙන් ගැටවරයෝ දෙදෙනා තියුණු ලෙස අදහස් හුවමාරු කොට ගත්හ. සෑම නගරයකම රඟහල් නොමැති බැවින් මෙම ප්‍රසංගය හිට්ලර් පවැත්වීමට අදහස් කළේ පල්ලි තුලය. ඒ සඳහා අවසර දෙනු ඇත්දැයි පවා ඔහු රදගුරු කාර්යාලයෙන් විපරම් කොට බැළුවේය.
ඒ කුබිසෙක් සම්බන්ධවූ හිට්ලර්ගේ අවසන් ‘මනෝ රාජික’ වැඩසටහන විය.
එක් දහස් නවසිය නවයේ නොවැම්බරයේ ඔස්ට්‍රියන් හමුදාවේ අනිවාර්ය යුද පුහුණුව අවසන් කොට යලි වියානාවට පැමිණි කුබිසෙක් දුටුවේ සිය මිතුරා තවදුරටත් ස්ටම්පර්ගැසේ වීථියේ අංක විසි නවය දරණ ස්ථානයේ නොමැති බවයි. ‘හර් හිට්ලර්’ නියමිත පරිදි කුලිය ගෙවා බඩුබාහිරාදිය රැගෙන නික්ම ගියද ලිපිනයක් නුදුන් වග නිවෙස් හිමි කාරිය කීවාය. ඔහු ගැවසෙන්නේ යැයි සිතිය හැකි සුපුරුදු ස්ථාන වල කුබිසෙක් දින ගණනාවක් සැරිසැරුවද ඉන් ඵලක් වූයේ නැත. විසි ලක්ෂයක් ජීවත් වූ වියානා නගරය තුල හිට්ලර් පිදුරු ගොඩක ඉඳිකටුවක් මෙන් අතුරුදන්ව සිටියේය.

හිට්ලර් - 1905 (අදින ලද්දේ කවරකු විසින්දයි පැහැදිලි නත)
හිට්ලර් – 1905 (අදින ලද්දේ කවරකු විසින්දයි පැහැදිලි නත)

“කාමර කුලිය ගෙවා ගැනීමට වත් වත්කමක් නැති හෙයින් මගේ මිතුරා මට වත් නොකියා මහ මඟට බැසීමට තීරණය කොට තිබූ වග මා දැනගත්තේ තවත් තිස් අවුරුද්දකට පසුවය…” කුබිසෙක් තම කෘතියේ සඳහන් කරයි.
එහෙත් ඒ මොහොතේ පැදුරටත් නොකියා යන්නට ගියේ අත මිට හිඟවූ හෙයින් යැයි ඔහු පසුව කල හේතු දැක්වීම හුදෙක්ම ‘දේශපාලන’ නිදහසට කරුණකි. මෙම ‘නික්ම යාම’ ට වඩාත්ම හේතුවූයේ මේ වනවිට ඔහු ඔස්ට්‍රියන් හමුදාවේ අනිවාර්ය යුද පුහුණුව මඟ හැරීම නිසා හමුදා බලධාරීන් තමා සොයා එනු ඇතැයි ඔහු සැකයක් ඇති කොටගෙන තිබීම විය හැක. ස්ටම්පර්ගැසේ වීථියේ අංක විසි නවය දරණ ලිපිනය ලින්ස් නගරයේ ඥාතීන් මෙන්ම කුබිසෙක්ගේ දෙමාපියෝද දනිති. බොහෝ ජර්මන් ජාතිවාදීන් මෙන් හිට්ලර් ද හැබ්ස්බර්ග් වරුන්ට සේවය කිරීම පිළිකුල් කළේය.

අනතුරුව ගතවූ සිව් වසර තම ජීවිතයේ දුෂ්කරම සමය බව හිට්ලර් ‘මගේ සටන’ කෘතියේ කළ සඳහන අතිශයෝක්තියක් නොවේ. “කුසගින්න හා සීතල මාගේ සමීප සගයෝ වූහ…” බොහෝ විට ඔහු රැය පහන් කළේ තාවකාලික ලැගුම් හල් තුලය. නැතහොත් එළිමහනේ රැය පහන් කළේය. එය සැබෑ ‘බොහිමියානු’ ජීවිතයකි. මේ කාලය අතරතුර වරින් වර ඔහු මැල්ඩමාන් වීථියේ අංක විසි හත දරණ පිරිමි නේවාසිකාගාරයක විසූ බවට සාක්ෂි ඇත. දිවි ගැට ගසාගැනීමට හිට්ලර් කළේ ගොඩනැගිලි හා භූමි දර්ශන සිතුවම් තැපැල් පත් වල දිය සායමෙන් කොට විකිණිමලු! සxචාරකයන් නොපැමිණි ශීත කාලයේ තමාට කම්කරුවකු ලෙස හිම ශුද්ධ කිරීමට සිදුවූ වග ඔහු ‘මගේ සටන’ කෘතියේ ආවර්ජනය කරයි.

මැල්ඩමාන් වීථියේ පිරිමි නේවාසිකාගාරයේ දී මේ කාලයේ හිට්ලර් දැන හැඳින සිටි බව කියැවුන තවත් පුද්ගලයෙකු වූයේ රයින්හෝල්ඩ් හැනිෂ් නැමති සංක්රමමණික නගරංකාරයාය. කලක් ඔහු හිට්ලර් අඳින සිත්තම් හා පින්තූර තැපැල්පත් ඔහු වෙනුවෙන් විකුණා දුන්නද හැනිෂ් විසින් මුදල් වංචා කිරීමේ සැකයක් මත පසුව දෙදෙනා පසුව අමනාප වූහ. විවිධ චෝදනා ලබා කිහිප වතාවක්ම සිර ගතව සිටි හැනිෂ් තමා දුටු හිට්ලර් අලසයකු බවත් කිසි දිනෙක කම්කරුවකු ලෙස වැඩ නොකල බවත් පවසයි. එහෙත් ඔහුගේ ප්රසකාශයන් බොහොමයක් සාවද්යබ බවත් සද්භාවයෙන් තොර බවත් දැන් හෙලිවී ඇත. චිත්ර් ශිල්පය ගැන යම් හැකියාවක් තිබූ හැනිෂ් නව සිය තිස් ගණන්වල දී තමා විසින්ම දිය සායමින් කළ සිතුවම් ජර්මන් චාන්ස්ලර් තරුණ කාලයේ අඳින ලද චිත්රම ලෙස පවසා වියානා නුවර අලෙවි කොට හසුවී සිර දඬුවම් ලැබ ඔස්ට්රිඳයාවේ බන්ධනාගාරයකදී හෘදයාබාධයකින් මියගියේය. බොහෝ දෙනා සැක කළේ මරණය පසුපස වූයේ හිට්ලර්ගේ අදිසි හස්තය බවයි.
ඔස්ට්රියයන් බලධාරීන් දිගින් දිගටම තමා පසුපස හඹා එතැයි පෙනීගිය නිසාදෝ එක්දහස් නවසිය දහතුනේ මැයි මස හිට්ලර් ජර්මනිය බලා නික්ම යාමට තීරණය කළේය. සොයුරිය ඥාතීන් යටතේ ඇති දැඩි වූ හෙයින් ඔහුට අන් වගකීම් හෝ බැදීම්ද නොවීය. ඒ වන විට ටිකට් පතක් ගැනීමට වත් අත මුදල් නොතිබූ ඔහු රාත්රී දුම්රියට පස්සා දොරකින් ඇතුළු වූ බවටත් සැල්ස්බර්ග් දේශ සීමා කපොල්ලේදී රේගු නිළධාරීන් බලපත්රු පරීක්ෂා කරන විට වැසිකිලිය තුල සැඟවුන බවටත් මතයක් ඇතත්, මේ වන විට ඔහුට පිය උරුමයෙන් කිසියම් මුදලක් හිමිව තිබූ බවට ලිපි ලේඛණ වලින් තහවුරු වී ඇති හෙයින් ඔහු ඔය කියන තරම් අග හිඟ කම් වලින් පෙළුනේ යැයි සිතීම අසීරුය.

හිට්ලර්ගේ සොයුරිය පෝලා. විවාහ නුවූ ඇය 1960 මිය යන තුරුම අප්‍රකටව සිටියාය.
හිට්ලර්ගේ සොයුරිය පෝලා. විවාහ නුවූ ඇය 1960 මිය යන තුරුම අප්‍රකටව සිටියාය.

ටිකට් පතක් ඇතිව හෝ නැතිව හෝ ඔහු පසු දින දකුණු දිග ජර්මන් ප්‍රාන්ත රාජ්‍යයක් වූ බැවේරියාවේ මියුනික් නුවරට සේන්දු වීය. ඒ ඔහු නිතර සිහිනෙන් පවා දුටු සුන්දර ජර්මන් නගරයයි. ඒ පොළොවේ ඇවිදීම වඩාත් පහසුය; හමන මඳ නල ගතට සිසිලස ගා සිතට සුවය ගෙන දේ. හිරු එළියෙන් ආලෝකමත් වූ වීථි ඔස්සේ නිදහස් ලෙස මිනිස්සු ඇවිද යති.
මියුනික් හි ෂ්ලයිස්හයිමර් වීථියේ අංක තිස් හතර දරණ ස්ථානයේ වූ නිවෙසක තෙවැනි තට්ටුවේ කාමරයක් කුලියට ගත් හිට්ලර් දිය සායම් චිත්රස ඇඳීම තවදුරටත් සිය ජීවනෝපාය කොට ගත්තේය. ජෝසෙෆ් පොප් නැමති නිවෙස් හිමිකරුවා සන්නාලියෙකි. විනීත ගති පැවතුන් ඇති නව කුලී නිවැසියා ඔහුගේ බිරිඳට හා දරු දෙන්නාටද බොහෝ ප්රිතයය. තම කාමරය තුලට වී ලියමින්, කියවමින්, අඳිමින්, දවස ගත කරන ඔහු ගෙහිමි පවුල සමඟ රෑ කෑමට කරන ආරාධනය පමණක් නොපිළිගනී.
නිශ්චිත අරමුණකින් තොර වුවද හිට්ලර්ගේ ජීවිතය දැන් වඩාත් සුව පහසුය. එවකට ජර්මනියේ පිටුවහල් ජීවිතයක් ගත කල ව්ලැදිමීර් ඉල්යීච් ලෙනින් නැමති රුසියන් ජාතික විප්ලවාදියාද එම වීථියේම මඳක් ඔබ්බෙන් වූ ගොඩනැගිල්ලක පදිංචිව සිටි වගක් ඔහු ඒ වන විට දැන නොසිටියේය.
ෂ්ලයිස්හයිමර් වීථිය අඥාදායකයන්ට විපතේදී සෙවණ දුන් ක්ෂෙම භූමියකි!
ගතවූයේ එකොලොස් මසකි. අවාසනාවකට මෙන් ඔස්ට්‍රියන් බලධාරීහූ හිට්ලර්ගේ මියුනික් නුවර ලිපිනය අනාවරණය කොට ගත්හ. දිනක් සවස ෂ්ලයිස්හයිමර් වීථියට ඔහු සොයා ආ මූසල පෙනුමක් ඇති පොළිස් භටයෙක් වහා කොන්සල් කාර්යාලයට වාර්තා කරන මෙන් නියෝගයක් අත්පත් කොට ඔහු අත්ඩංගුවට ගත්තේය. යුද සේවය මඟ හැරීමේ වරදට දඩයක් හා සිර දඬුවමක් ඔහුට හිමි වීමට බොහෝ දුරට ඉඩ තිබිණ.
එහෙත් දෛවය නීති රීති හෝ රෙගුලසි මගින් වෙනස් කොට නොහේ.
වාර්තා කිරීමේ නියෝගය බොහෝ පමා වී භාරදීම හේතුවෙන් එය ඉටු කිරීම සඳහා හිට්ලර්ට ප්‍රමාණවත් කාලයක් ඉතිරිව තිබුණෙ නැත. යුද සේවය පැහැර හැරීම වෙනුවෙන් ඔහු ඉදිරිපත් කල බැගෑපත් පෞද්ගලික නිදහසට කරුණු අසා අනුකම්පා කල කාරුණික කොන්සල්-ජනරාල් තැන අවාසනාවත් තරුණයා දඬුවමකින් තොරව යුද පුහුණුව සඳහා යොමුකරවන මෙන් ඔස්ට්රිනයන් බළධාරීන්ට රෙකමදාරුවක් ලියා යැවීය. එහෙත් හමුදා පාසලේ පරීක්ෂණ‍යේදී ඔහු යුද සේවයට නුසුදුස්සෙක් සලකා ලෙස අසමත් කරන ලදී; හරියටම ඉබ්බා දියේ දමන විට ඇන්නෑවේ කීවාක් මෙනි.
මියුනික් නගරය බලා හිට්ලර් යලි පැමිණියේ නිදහස් ඔස්ට්‍රියන් පුරවැසියෙකු ලෙසය. ඔහු ‘චිත්‍ර ශිල්පියකු හා ලේඛකයකු’ ලෙස ෂ්ලයිස්හයිමර් වීථියේ ලියාපදිංචි ව සිටියේය. වෙලාවට කලාවට ගෙවල් කුලී ගෙවන ඔහු පොප් පවුලේ සාමාජිකයකු මෙනි. ඔහුට වෙනත් මිතුරන් නොවීය. ඉඳහිට ඔහු ලිපියක් ලැබුන බව පොප් මහත්මිය සිහිපත් කළාය. ඒ ලින්ස් නගරයේ විසූ මේ වනවිට දහඅට හැවිරිදි එකම සොයුරිය වූ පෝලා ගෙන් විය හැක.
එහෙත් ඔහුගේ දෛවය කණපිට හැරවූයේ ඊලඟ වසරේ හටගත් පලමු ලෝක යුද්ධයයි…

චාමර සිරිවර්දන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *