හිට්ලර්-නම්-සොල්දාදුවා

4. හිට්ලර් නම් සොල්දාදුවා (1914-1919)

හිට්ලර් නම් සොල්දාදුවා (1914-1919)

පලමු ලෝක යුද්ධයට තුඩු දුන් අරුම හේතුව වූයේ 1914 ජුනි 28 දා බොස්නියාවේ සංචාරයක යෙදී සිටි ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමාරයා සහ එම දේවිය සරාජිවෝ අගනුවරදී සර්බ් අන්තවාදියෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීමයි. කලක් මුලුල්ලේ සර්බියාවට පහර දීමට හේතුවක් හොයමින් සිටි ඔස්ට්‍රියාවට මෙම සිදිධිය අඬන්න හිටි මිනිහාගේ ඇසට ඇඟිල්ලෙන් ඇනීමකට සමාන විය. ජුලි 28 දා ඔස්ට්‍රියන් හමුදා බෙල්ග්‍රේඩ් නුවරට කාලතුවක්කු වලින් පහර දුන් අතර මින් කුපිත වූ රුසියාව සර්බියාවට පක්ෂව හමුදා රැස් කිරිමට නියෝග කලාය.
ස්ලාව් වරුන්ගේ හිරිහැර වලින් මිදීමට ඔස්ට්‍රියාවට ඇති අවශ්‍යතාව තමාට හොදින් වැටහෙන බව පැවසූ ජර්මනියේ දෙවන කයිසර් විල්හෙම් තුමා රුසියාවටත් ඇගේ මිතුරා වූ වරදට ප්‍රංශයටත්, ප්‍රංශය ආක්‍රමණය කිරීම සඳහා කොරිඩෝරයක් ඉල්ලා මධ්‍යස්ථ රටක් වූ බෙල්ජියමටත් අවසන් නිවේදන යැවීය.
බෙල්ජියමේ මධ්‍යස්ථ භාවය උල්ලංඝනය කිරීම මත මහා බ්‍රිතාන්‍යයද යුද්ධයට සම්බන්ධ විය. ප්‍රංශයේ හා බෙල්ජියමේ ස්වාදධීනත්වය ඈ තම ජාතික ආරක්ෂාවේ මුදුන් මල් කඩ කොට තැකුවාය.
බ්‍රිතාන්‍ය විදේශ ඇමති සර් එඩ්වඩ් ග්‍රේ සොබා දමට දැඩි ලෙස ආදරය කල ගැමියෙකි. එදින සවස ලන්ඩන් නුවර විදේශ කාර්යාලයේ කවුළුව අසලට වී දුක්මුසු ලෙස කල්පනාවේ යෙදුන හේ දුක්මුසු ලෙස මෙසේ මුමුණනු ඇසිණ… “යුරෝපය පුරා පහන් නිවී යමින් පවතී. ඒවා අපේ ජීවිත කාලය තුල යලි නොදැල්වෙනු ඇත…”

පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපය
පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපය

මියුනික් නුවර ෂ්ලයිස්හයිමර් වීථියේ සිට මේ සියල්ල ඇසූ හිට්ලර් උදම් ඇනුවේද ග්‍රේ පශ්චත්තාපයට පත් වීමට හේතු වූ කරුණම අරබයාය. ජර්මනිය ‍විසින් යුද්ධයකදී ප්‍රංශය පරාජය කරනු දැකීම ඔහුගේ එකම පැතුමය. කුඩා සන්දියේ පවා 1870 ප්‍රසියන්-ප්‍රංශ යුද්ධය පිළිබධ ඉතා ආශාවෙන් කියැවූ ඔහු ලොරේනයට කඩා වදින ප්‍රසියන් අසරුවන් කෙතෙක් මනැසින් දුටුවේද? අනික මෙම යුද්ධය තවදුරටත් ඔස්ට්‍රියාව හා සර්බියාව අතර එදිරිවාදි කම් පිරිමසාගැනීමක් නොව ජර්මනියේ අනාගතය වෙනුවෙන් කෙරෙන අරගලයකි. එහෙයින් ඊට සභාභාගි වී සියැසින් දැක ඇත්නම් නම් එය වඩාත් මැනවයි හිට්ලර් කල්පනා කලා විය හැක. ගෙයක් දොරක් ලමා ලපටි හෝ නෑ හිත මිතුරෙක් නැති තනි ඔහුට කවර බැදීමක් ද? යුද්ධයට සහාය පළකරමින් ඕඩියොන්ස් පෙදෙසේ පැවති දැවැන්ත උද්ඝෝෂණ රැළියකට සහභාගී වූ ඔහු තමා ජර්මන් හමුදාවේ බැවේරියන් රෙජිමේන්තුවට බඳවා ගන්න මෙන් ඉල්ලා පසුදිනම පෙත්සමක් ඔප්පු කළේය.

ස්වේච්ඡා භටයෙක් ලෙස ජර්මන් හමුදාවට එක් කොට ගනු ලැබූ ඔස්ට්‍රියන් පුරවැසි හිට්ලර් කෙටි යුද පුහුණුවකින් අනතුරුව 16 වැනි බැවේරියානු සංචිත රෙජිමේන්තුවේ දූත-සෙබළෙකු ලෙස බටහිර පෙරමුණට අනුයුක්ත කෙරිණ. ඔහු ගේ කාර්යය වූයේ ඉංග්‍රීසි-ප්‍රංශ හමුදාවන්ට එරෙහිව සටන් වැදුන උතුරු බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් පෙදෙසේ මූලස්ථානය හා ජර්මන් පෙරමුණ අතර සම්බන්ධීකරණයයි. පියාඹන වෙඩි උණ්ඩ මැද බඩගා යමින් තමා කල අන්තරාකාරී මෙහෙය ඔහු පසුව සිහි කලේ ආඩම්බරයෙනි. ජර්මනියේ සෙසු දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වනවිට ඇදහූවාක් මෙන් ඔහු තුලද ජයග්‍රහණය පිළිබඳ අබමල් රේණුවක හෝ සැක සංකාවක් නොවීය.

කුමාරයා හා දේවිය මරා දැමීම ගැන පලවූ සිරස්තලයක් (29.06.1914 - පුවත් පත් ආයතනය අපැහැදිලිය)
කුමාරයා හා දේවිය මරා දැමීම ගැන පලවූ සිරස්තලයක් (29.06.1914 – පුවත් පත් ආයතනය අපැහැදිලිය)

එහෙත් සිතුවක් නොසිදුවේ; නොසිතුවක්ම සිදුවේ.
ජර්මන් යුද සලැසුම පිලියල කල හිටපු සෙනෙවි මණ්ඩල ප්‍රධානී දිවංගත ඇල්ෆ්රවඩ් වොන් ශ්ලීෆන් සිටුවරයාගේ අභිප්‍රාය වූයේ බෙල්ජියම හරහා
ප්‍රංශයේ හිසට ‘මිටි පරහක්’ එල්ල කොට පැරිසිය අල්ලා ගැනීමය. අනතුරුව ආපිට නැගෙනහිර බලා ගොස් රුසියානුවන් පැරදවිය හැකි වනු ඇතයි සිතූ ඔහු එතෙක් රුසියානුවන් මෙල්ල කොට ගෙන සිටීමට ජර්මනියේ මිතුරා වූ ඔස්ට්‍රියාව සමත් වනු ඇතයි කල අවදානම් සහගත උපකල්පනය මත සමස්ත සැලැස්මේ සාර්ථකත්වර රැඳිණ.
එහෙත් බෙල්ජියමේදී මුහුණ පෑමට සිදුවූ අනපේක්ෂිත ප්‍රතිරෝධනය හේතුවෙන් ජර්මන් ආක්‍රමණය කාලසටහනට වඩා බොහෝ පමා වූ අතර අගෝස්තු අවසානයේ ගැලීෂියාවේ ඔස්ට්‍රියන් ගැරිසනය පරාජය කල රුසියානුවෝ නැගෙනහිර ප්‍රසියාව දෙසට ගමන් ගත්හ.
ජර්මන් සෙනෙවි මණ්ඩලයේ නව ප්‍රධානී ජනරාල් හෙල්මුත් වොන් මෝල්ට්කේ ‘ජුන්කර්’ (නැගෙනහිර ‍ ප්‍රසියන් ඉඩම්හිමි ප්‍රභූ) වරයෙකි. යුද පෙරමුණ තම උපන් බිමෙන් ඈත් කොට තැබීමෙහි ලා විශාල ආශාවක් ඔහු තුල විය. බටහිර සටනේ ඉලක්ක සපුරා ගැනීමට පෙර විශාල වශයෙන් බළඇණි ඉවත් කරමින් නැගෙනහිර පෙරමුණට යැවීමට ඔහු උත්සුක වූයේ මේ නිසාය.
අවසන් ප්‍රතිඵලය වූයේ වොන් ශ්ලීෆන් සිටුතුමා අපේක්ෂා කල ක්ෂණික ජයක් වෙනුවට යුද අගල් තුල දීර්ඝ කාලයෙක් පුරා ඇදී ගිය අතිශය වෙහෙසකර යුද්ධයකි.
මහා බ්‍රිතාන්‍ය විසින් පණවා තිබූ නාවුක අවහිරය තුල ආයත සීමාවීම හේතුවෙන් ඉහල යමින් පැවති ආහාර හිඟය මඟ හැරවීම පිණිස සලාකයක් හඳුන්වා දීමෙන් නොනැවතී ගොවිපොළවල් සිටි ඌරන් පණස් ලක්ෂයක් මස් කිරීමට පවා ජර්මනියට සිදු වීමෙන් පෙනී යන්නේ ජර්මන් ආර්ථිකය සතුව දීර්ඝ යුද්ධයක් සඳහා අවැසි පෙර සූදානමක් නොතිබූ බවය.
විසිවන සියවසේ තාක්ෂණික පුනරුදයත් සමඟ ප්‍රහාරක හා ආරක්ෂක උපක්‍රම වල හටගෙන තිබූ දියුණුව යුද්ධය වඩාත් අසීරු හා හිංසාකාරී වීමට ඉවහල් වූ තවත් හේතුවකි. කටු කම්බි බාධක හා මැෂින් තුවක්කු පාබල හමුදා වල ඉදිරි ගමන සීමා කල අතර වාර්තා වූ ජීවිත හා දේපොල හානිය අන් කවරදාටත් වඩාත් වැඩි වූයේ දෙපාර්ශ්වයම විනාශකාරී අවි නිපදවීම හා භාවිත කිරීම නිසාය.
මෙවන් යුද්ධයක වැඩි වාසිය අත්වූයේ සූරා කෑම සඳහා ඇති තරම් යටත් විජිත ඇති මහා බ්‍රිතාන්‍යට හා ප්‍රංශයට වීම අරුමයක් නොවේ.

හිට්ලර් 1915-1916 (දිනය නිශ්චිත නැත)
හිට්ලර් 1915-1916 (දිනය නිශ්චිත නැත)

මුලින්ම යුද්ධයෙන් හති වැටුනේ රුසියාවය. 1916 කොකේසස් කඳුකරයේදී ඔටෝමන් තුර්කිවරු පරාජය කිරීමෙන් අනතුරුව ඈ සතු අවසන් ශක්තිය ද සිඳීණ. සෙබළුන් පන්ලක්ෂයක් මිය යාමෙන් අනතුරුවද ලද ප්‍රතිලාභයක් දැක්විය නොහැකි වූ නොකොලස් සාර් තුමා ගෙන් බලය පැහැර ගත් සෝවියට් වරු සාමය ඉල්ලා සිටියද, අවසන් මොහොතේ ජර්මනිය ඉන් ලද වාසියක්ද නැත.
1918 ආරම්භ විට ජර්මනිය පුරා යුද විරෝධි වැඩ වර්ජන හා හර්තාල් හට ගත්තේය. කයිසර් තුමා සිහසුන හැර යා යුතු යයි විරෝධතා කරුවෝ උද්ඝෝෂණය කලහ. රට තුල ‘සෝවියට්’ පන්නයේ විප්ලවයකින් රාජ්‍ය බලය පැහැරගනු ඇතයි බියවූ ‘ජුන්කර්’ පෙලපතට නියෝජනය කරන ජර්මන් හමුදා ජනරාල් වරු වහා යුද්ධය අවසන් කිරීම මැනවයි කයිසාර් තුමාගෙන් උදක්ම ඉල්ලා සිටියහ. 1918 නොවැම්බරයේදී ජර්මනිය අවිබිම තබා යටත් විය. කයිසර් තුමා සිහසුන හැර රටින් පලා ගියේය. ජර්මනිය ජනරජයක් බවට පත් විය.
දින කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය විෂ වායු ප්‍රහාරයකට ලක්වූ හිට්ලර් ඒ වන විට සිටියේ හමුදා රෝහලක ප්‍රතිකාර ලබමිනි. ජර්මනිය යටත් වූ බව ඇසූ ඔහු හඬා වැලපුනේය. හමුදාවේ නිල නොලත් නිලධාරියෙක් ලෙස ඔහුට හැඟුනේ නියත වශයෙන් ජයගත හැකිව තිබූ යුද්ධ ‍ව්‍යායාපාරය යුදෙව්-කොමියුනිස්ට් බලවේග විසින් විරෝධතා හා වර්ජන තුලින් අඩපණ කොට පරාජය කරවූ බවය.හමුදාවේ පිටට පිහියෙන් අනින ලද්දේ දේශපාලඥයන් විසිනයි ඔහු කේවේ එබැවිණි.
බිස්මාර්ක්ගේ මහා දෙවන ජර්මන් රයික් අධි රාජ්‍යය ඇද වැටුනේ කඩදාසි ගෙයක් ලෙසය. ජාතීවාදීන් අඩ සියවසක් කුල්මත් කල සර්ව-ජර්මන් සිහිනය බොඳ විය. එමපණක් නම් මදෑ!
ජයග්‍රාහී මිත්‍ර බලවතුන් විසින් ලෙස ‘වර්සෙල්ස්’ හිදී අත්සන් කිරීමට බල කෙරුන දුෂ්ඨ ශමත ගිවිසුම ගහෙන් වැටුන ජර්මනියට ගොනා ඇනීමකි. නිරායුධ කොට අවමන් කරන ලදුව ඈට තවත් තහංචි බොහෝ පැනවන ලදී.

හිට්ලර් 1920 (පෞද්ගලික ඡායාරූප ශිල්පී හයින්රිච් හොෆ්මන් ගේ එකතුවෙනි)
හිට්ලර් 1920 (පෞද්ගලික ඡායාරූප ශිල්පී හයින්රිච් හොෆ්මන් ගේ එකතුවෙනි)

දුර්භාග්ය කදී පාලකයන්ට දොස් නැඟීම මිනිස් වර්ගයාට පොදු ස්වභාවයක් විය යුතුය. හිට්ලර් ඇතුළු ජාතිවාදීහූ මෙහිදීද ජනරජයෙහි දොස්ම දුටූහ. සේවය කල හමුදා ඒකකයේ අණ දෙන නිළධාරියා දිනක් හිට්ලර් මියුනික් නුවර අඳුරු බීර හලකට පිටත් කොට හැරියේ එහි රැස් වන බවට තොරතුරු ලත් ජර්මන් කම්කරු පක්ෂ නම් කල්ලියක් පිලිබද සොයා බලා කරුණු වාර්තා කිරීමටය. පරාජයේ අපේක්ෂාභංගත්වය තුලින් හටගත් දැවැන්ත දේශපාලන රික්තය තුල හතු පිපෙන්නාක් මෙන් බිහිවූ අන්තවාදී කණ්ඩායම් ගැන හමුදාව ඇස ගසාගෙන සිටියේය. පමණට වඩා වමට බර ජනරජය කොන්සර්වේටිව් වාදී හමුදා නායකත්වයටද රුචි නැත.

කල්ලියේ නායකයා වූයේ යතුරු ශිල්පියෙකු වූ ඇන්ටන් ඩ්‍රෙක්ස්ලර් ය. ඇල්ෆ්‍රඩ් රොසෙන්බර්ග් නම් උපාධිධාරී වාර්ගික බෝල්ටික්-ජර්මන් සංක්ර්මණිකයකු ඇතුළු සාමාජිකයන් හතලිස් දෙනෙකුගෙන් සමන්විත ජර්මන් කම්කරු පක්ෂයේ මුළු අරමුදල මාර්ක් හතයි ශත පණහකට සීමා විය. කමිටු සාමාජිකයන් හය දෙනා රැස්වූ කුඩා බීර හල අපවිත්‍රය. දැලි වැකුන බිත්ති සහිත ශාලාව අඳුරුය. ඈතින් වූ බංකුවක් මත හිඳගත් බේබද්දන් කිහිප දෙනෙක් ද සංවාදයට කන් දෙති.
ඔවුහු අන්ත දක්ෂිණාංශිකයෝ වූහ; සර්ව-ජර්මන් වාදය පරමාදර්ශ කොට ගත්තෝ, යුදෙව්වන්ටත්, කොමියුනිස්ට් වාදයටත්, ජනරජයටත්, වර්සෙල්ස් ගිවිසුමටත් එක සේ වෛර කළෝය. හිට්ලර්ට තමා පෙර අත් නොවිඳි හුරු පුරුදු බවක් හා පහසුවක් දැණින. ඒ අඳුරු බීරහල තුලින් නැගුනේ ඔහුගේ අධ්‍යාත්මයේ දෝංකාරයයි.
ආ කාරණය ගැන දැනටමත් නිනව් නැතිව සිටි හිට්ලර් ගේ දැහැන බිඳී ගියේ ඒ වාග් මාලාවේ මාධුර්යය සුණු විසුනු කරමින් සෘතියෙන් එපිට ගැයුන පිටස්තර ස්වරයක් නිසාය. කට ගොන්නක් බීගෙන එතැනට කඩා වැදී තමා මහාචාර්ය වරයෙක් ලෙස හඳුන්වාගත් එක්තරා අන්තවාදියෙක් බැවේරියාව ජර්මනියෙන් වෙන්වී ඔස්ට්‍රියාව හා එක්විය යුතු යැයි උදක්ම කියා සිටියේය. මේ ඇසූ ඔත්තු බලන හමුදා කෝප්‍රල් තැනට උන් හිටි තැන් අමතක විය. වහා අසලවූ මේසයක් මත නැගගෙන ඔහු වේගවත් පිළිතුරු කථාවක් කළේ ජර්මනියෙන් තොර දෛවයක් බැවේරියාවට නොමැති බව අවධාරණය කරමිනි. කට උත්තර නැති වූ අන්තවාදී මහාචාර්ය තැනට බීර හලේ ආලින්දය දක්වා පසුබැසීමට සිදු විය. කථාව අවසානයේ ඉමහත් සේ පැහැදුන ඩ්‍රෙක්ක්ස්ලර් තම කණ්ඩායම හා එක්වන ලෙස හිට්ලර්ට විවෘතව ආරාධනාවක් කරමින් තමා විසින් ලියන ලද පොත් පිංචක්ද තෑගි කලේය.
ජර්මන් කම්කරු පක්ෂය හිට්ලර්ගේ සිත් ගත්තේය. මියුනික් නගරයේ බීර හල් තුල ගැවසුන බේබද්දන් අතලොස්සක් හා හමුදාවේ දේශපාලන ඔත්තු ඒකකය හැරුන කොට සෙස්සෝ තවමත් මෙම අපූරු දේශපාලන පක්ෂය පිලිබඳ හාංකවිසියක් නොදැන සිටීයහ.
පැවති සියළු දේශපාලන කණ්ඩායම් අතුරින් ජර්මනියට වඩාත්ම හිතකර ව්‍යාපාරය විය හැක්කේ ජර්මන් කම්කරු පක්ෂයට බව හමුදා ඔත්තු සේවා ඒජන්ත තැන්පත් ඇඩොල්ෆ් හිට්ලර් සිය වාර්තාවේ සඳහන් කළේ එහෙයිනි. ඔවුන් හා එක්වන මෙන් ඩ්‍රෙක්ස්ලර් තමා ලද ආරාධනය පිළිබඳවද සිය ඉහල නිළධරයා නොවලහා දැනුවත් කල ඔහු පොත් පිංච ද ඇමුණුමක් ලෙස ඉදිරිපත් කළේය.
හිට්ලර්ගේ ප්‍රධානියා වූ කපිතන් කාර්ල් මේයර් ද උග්‍ර ජර්මන් ජාතිවාදියෙකි. යුදෙව්වන් ද වහ කදුරු මෙන් තිත්තය. ඩ්‍රෙක්ස්ලර් ගේ ආරාධනය පිළිගෙන ජර්මන් කම්කරු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට තම සහායකයා ධෛර්යමත් කළේ ඔහු විසින් බව පැවසේ. පසු කලෙක මේයර් කියා සිටියේ හිට්ලර් ඒජන්තයකු ලෙස මියුනික් නුවර දක්ෂිණාංශය තුලට ඇතුළු කරවීම හමුදා ඔත්තු සේවයේ උපාය මාර්ගික පියවරක් වූ බවත් එහිදී තමා ඉහල නිළධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කළ බවත් ය.
එහි සත්‍යාතවතාව අපි නොදනිමු. එහෙත් දින කිහිපයකට පසු හිට්ලර් හත් වැනි කොමිටි සාමජිකයා ලෙස ජර්මන් කම්කරු පක්ෂයට එක් වූ බවට නම් සාක්ෂි ඕනෑ තරම් ඇත .
ඒ 1919 සැප්තැම්බර් මාසයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *