හිට්ලර් නම් විප්ලව වාදියා (1920-1924)

5. හිට්ලර් නම් විප්ලව වාදියා (1920-1924)

හිට්ලර් නම් විප්ලව වාදියා (1920-1924)

1919 හිට්ලර් හත්වැනි කමිටු සාමාජිකයා ලෙස ජර්මන් කම්කරු පක්ෂයට එක් වන විට රාජාණ්ඩුව බිඳ වැටීමෙන් හටගත් අභිනව ‘වයිමර්’ ජනරජය තිබුනේ මධ්‍යස්ථ වාමාංශය අතය. එහෙත් 1920 අන්ත වාමාංශය බැවෙරියාවේ බලය පැහැර ගැනීමට දැරූ අසාර්ථක උත්සහය නිසා බිය වූ ආණ්ඩුව දක්ශිනාංශයට සන්නද්ධ වීමට ඉඩ හලේ වර්සෙල්ස් ගිවිසුම මගින් දුර්වල වී සිටි හමුදාවට විප්ලවයකට මුහුණ දීමේ නොතිබූ බැවිනි.
හිට්ලර් ජර්මන් කම්කරු පක්ෂය අඳුරු බීරහල් වලින් එලියට මහ ජනයා අතරට ගෙන ගියේය. මෙතෙක් සෛද්ධාන්තික සැලසුම් වලට සීමා වූ ඔහුගේ අදහස් රඟ දැක්වීම සඳහා එය අගනා අවස්ථාවක් විය. උද්යෝගයෙන් ඔද වැඩුන හිටපු කෝප්රල් වරයා බෙහෙවින් කඩිසරය. පවුලක් පන්සලක් නැති ඔහුට වැඩ කිරීමේ දී වෙලාවක් කලාවක් නැත. වසර ගනනාවක් කුබිසෙක්ට හුදෙකලා දේශන පවත්මනින් සිටි ඔහු තමා අති දක්ෂ කථිකයෙකු වග ද නොපමාව අවබෝධ කොට ගත්තේය. ඔහුගේ දේශන වලට සවන්දී පක්ෂයට එක්වූවන් අතර අනාගත න්‍යාචාර්ය හා නියෝජ්‍ය නායක රුඩොල්ෆ් හෙස් ද, හමුදා කපිතන් වරයකු වූ අර්න්ස්ට් රොම් ද වූහ. පක්ෂයේ පුවත් පත සඳහා බංකොලොත් මුද්‍රණාලයක් මිලදී ගැනීමට හමුදාවේ රහස් අයවැයකින් මුදල් සපයා දුන්නේද පක්ෂයේ ජිම්නාස්ටික් අංශය තුල එස්. ඒ. (කඩාපනින භටයන් යන අර්ථය දේ) නම් සටන් කාමී කල්ලියක් ගොඩ නැංවීමට මුල් වූයේ ද, රාජ්‍යතන්ත්‍රයේ ඉහල තනතුරු හෙබවූ දක්ෂිණාංශිකයන් හිට්ලර්ට අඳුන්වා දුන්නේද රොම්ය. දිනෙක ජර්මනිය තුල හමුදාවට විකල්ප යුද සංවිධානයක් ගොඩ නැඟීමට සිහින දුරු ඔහු නාසි පක්ෂය ඒ සඳහා කදිම තෝතැන්නක් ලෙස දුටුවේය.

හිට්ලර් (1922)
හිට්ලර් (1922)

පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයට ලක් කල හිට්ලර් යුදෙව්-කොමියුනිස්ට් විරෝධී විසි පස් වැදෑරුම් වැඩපිළිවලක් යටතේ ‘ජාතික සමාජවාදී ජර්මන් කම්කරු (නාසි) පක්ෂය ලෙස යලි නම් කලේය. වර්සෙල්ස් ගිවිසුම අහෝසි කිරීම, යලි සන්නද්ධ වීම හා ජර්මනියේ අහිමි වූ ප්‍රෞඬත්වය යලි ලබා ගැනීම එහි මූලික ඉලක්ක විය. අනතුරුව පක්ෂයේ පූර්ණ බලතල සියතට ගත් හිට්ලර් නොහොත් ‘නායක තුමා’ විසින් ඒ වනවිටත් අකර්මන්‍ය සිටි ඩ්‍රෙක්ස්ලර් ඇතුළු විධායක කමිටුව විසුරුවා හරින ලදී.
1922 වන විට බැවෙරියාවේ දක්ෂිණාංශ්ක ඉහල සමාජයේ එක් සන්ධ්‍යා විලාසිතාවක් වූයේ දේශපලන සංවාද වලට සහභාගී වීමයි.
පලමු ලෝක යුද්ධයේ පදක්කම් ගැසූ ගුවන් නියමුවෙක් වූ විසි නව හැවිරිදි කපිතාන් හර්මන් ගෝරින් දිනක් ‘හර් හිට්ලර්’ ගේ දේශනයකට සවන් දීමට පැමිණියේ තම ස්විඩන් ජාතික බිරිය වූ සුරූපී කැරින් ද සමඟය. වර්සෙල්ස් ගිවිසුම මගින් ජර්මනියට යුද ගුවන් යානා නිපදවීම තහනම් කිරීම ගැන ඔහු පසුවූයේ තද කේන්තියෙනි. ගෝරින් ට සිය සවන් අදහා ගත නොහැකි විය… ඒ නාඳුනන මිනිසාගේ කටින් පිටවූයේ ඔහුගේම අධ්‍යාත්මයේම දෝංකාරය බව ඔහුටද වැටහිණ. පසුවදා කෙලින්ම හිට්ලර් හමුවූ ඔහු නාසි පක්ෂයට තම සේවය පිරිනමා සිටි යේය. “වර්සෙල්ස් ගිවිසුම යකාට යද්දෙන් කියල කියන්න හයියක් තියෙන්නෙ ඒ මිහිහට විතරයි,” ගෝරින් සිය බිරිදට පැවසීය. ඔහුගේ සිහිනය වූයේ ජර්මන් අහසේ යලි ගුවන් යානා පැදවීමයි.
ගෝරින් ගේ ආගමනය හිට්ලර්ට මහත් ශක්තියකි. කපිතන් වරයාගේ සංවිධාන ශක්තිය හා අණදීමේ හැකියාව ගන බොහෝ පැහැදුන ඔහු ගෝරින්ට එස්. ඒ. සංවිධානය භාර කලේය. එස්. ඒ. භටයන්ට කිසියම් විනයක් ආරෝපනය කොට නිල ඇඳුමක් ලබා දුන්නේ ද, මාණ්ඩලික කාර්යාලයක් යටත පත් කොට වෘත්තිමය භවයක් ලබා දුන්නේද ගෝරින්ය.
මාස කිහිපයකට පසු පැවති මහා රැලියකදී දුඹුරු ඇඳුම් හැදි එස්. ඒ. භටයන් අට සියයක ආචාර පෙළපාලියක් පිළිගත් හිට්ලර් ප්‍රීතිියෙන් ඔකඳවී සිටි ගෝරින් ප්‍රසිද්ධියේ බදා වැළඳ ගත්තේය. එවන් පෙළපාලියක් අපේක්ෂා කල හැකිවූයේ රාජ්‍ය නායකයකුට හෝ මහා ජනරාල් වරයෙකුට පමණි. “ මම ගෝරින්ට මීට වඩා ප්‍රසංශා කරන්නෙ නෑ, එයාගෙ ඔළුව තෝන්තු වන නිසා…” ඔහු අසල වූ කැරින් ගෝරින්ට ඉඟි මැරීය.

Image may contain: one or more people

“මගේ ඔළුවත් තෝන්තු වෙලා වගේ, නායක තුමනි” කැරින් විනීත ලෙස පිළිතුරු දුන්නාය. එහෙත් හිට්ලර් විරුද්ධ විය. “නැහැ. නැහැ. වෙන්න බැහැ. ඔබතුමිය වගේ කාන්තවක ගෙ ඔලුව කවදාවත් තෝන්තු වෙන්න බැහැ.” ඉතා අචාර ශීලී ලෙස සිටුවරිය ගේ අත සිපගත් හිට්ලර් යන්නට ගියේය.
හිට්ලර් ලෞකික සැප උසස් කොට තැකූ අයෙකු වී නම් 1923 වන විට ඔහු ලඟා කොටගෙන සිටි තත්වය ගැටවරයකු ලෙස වරක් කුබිසෙක් සමඟ ගොඩ නැඟූ අහිංසක ප්‍රාර්ථනා හා සසදන කල ඉහටත් උඩින්ය. මියුනිච් හි විශාල පුස්තකාලයක් සහිත කදිම තට්ටු නිවසක් ද ගමනට බිමනට මෝටර් රථයක් ද ඔහුට තිබිණ. ඔහුගේ චිත්‍ර අගැයීමට රසිකයෝ පක්ෂය තුල පොර කෑහ. බැවේරියාවේ සියලු ලොක්කෝ ඔහු නමින් හඳුනති. ආරක්ෂක ඇමති ගුට්නර් මෑතදී හිට්ලර් කැඳවා ‘කුපිත කරවන සුලු’ කතා පැවැත්වීමෙන් වැලකී සිටින ලෙස අවවාද කලේ ද මේ කදිම තරුණයාට වරදක් වනු දකීමට ඔහු තුල වූ අකමැත්ත වූ නිසා විය යුතුය.
එහෙත් විකල්ප හමුදාවක් ගොඩනැගීම අරමුණූ කොට ගත් රොම් හෝ නැවත ගුවනේ පියාසර කිරීමට සිහින දුටු ගෝරින් හා සසඳන කල හිට්ලර් ගේ අපේක්ෂා වඩාත් පුළුල්ය; දුරස්ථය. ඔහු වර්සැල්ස් ගිවිසුම බිඳ දමා ජර්මනිය යලි සන්නද්ධ කිරීමටත්, තුන්වන රයික් අධි රාජ්‍යයක් ගොඩ නැගීමටත් පෙරුම් පුරමින් සිටියේය.

ඔරොත්තු නොදෙන තරම් විශාල යුද වන්දි ගෙවීමට සිදුවීම නිසා 1923 ජර්මනියේ උත්සන්න වූ උද්ධමනය හේතුවෙන් සමස්තය අර්ථිකය කඩා වැටින. මේ හේතුවෙන් රට තුල ඇතිවූ දැඩි අසහනයට මුවා වී බැවෙරියානු

හිට්ලර් හා රුඩොල්ෆ් හෙස් (මැද) සිට මැදිරියේ සිට 'මගේ සටන' කෘතිය ලියන අතරතුර (1924)
හිට්ලර් හා රුඩොල්ෆ් හෙස් (මැද) සිට මැදිරියේ සිට ‘මගේ සටන’ කෘතිය ලියන අතරතුර (1924)

ප්‍රාන්තය ජර්මනියෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යක ලෙස ප්‍රකාශයට පත් කිරීමට දක්ෂිණාංශිකයෝ කුමන්ත්‍රණය කලෝය. හිට්ලර් මූලිකත්වය ගත් එහි සෙසු හවුල් කරුවන් වූයේ ප්‍රාදේශීය රජයේ නායකයන් තිදෙනා හා පලමු ලෝක යුද්ධයේ කීර්තිමත් ජනරාල් වරයකු වූ හා ප්‍රකට ප්‍රතිගාමී දක්ෂිණාංශිකයකු වූ එරිච් ලුඩොන්ඩොර්ෆ්ය. එහෙත් අවසන් මොහොතේ ප්‍රාදේශීය නායකයන් තිදෙනා මඟ හැරියේ චකිතය නිසා විය හැක. එහෙත් ඔවුන් තමා මඟ හැර තනිව කුමන්ත්‍රණය කිරීමට සැරසේ යයි සැක කල හිට්ලර් කලේ වහා ගෝරින් ප්‍රමුඛ එස්. ඒ බල ඇණියක් සමඟ ප්‍රාදේශීය නායකයන් රැස් වීමක් පවත්වමින් බීර හලකට කඩා වැදී ඔවුනටද අඩන්තෙට්ටම් කොට බැවෙරියානු ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කිරීමයි. ලුඩොන්ඩෝර්ෆ් ද එක්වූ මේ කැරැල්ල සදහා ඔහු තෝරා ගත්තේ රාජාණ්ඩුව බිඳ වැටීමේ පස් වන සංවත්සරය යෙදුන නොවැම්බර් 9 දාය.
පොලිසිය පෙලපාලි කරුවන්ට අනුකම්පා රහිතව වෙඩි තැබුවේය. ඇද වැටීම නිසා උරහිස විසන්ධිවී සිටි හිට්ලර් වාහනයක නංවාගත් ආරක්ෂකයෝ වහා එතැනින් ඔහු ඉවතට රැගෙන ගියහ. වෙඩි පහරකින් කලවය පසාරු වූ ගෝරින් සිය බිරිඳගේ උදව්වෙන් එදාම දේශ සීමාව හරහා ඔස්ට්‍රියාවට පලා යාමට සමත් විය. තවත් එස්. ඒ. කණ්ඩායමක් සමඟ යුද යාමාත්‍යංශ ගොඩ නැගිල්ල අත්පත් කොට ගැනීමට ගිය රොම් යටත් වූ අතර ලුඩොන්ඩොර්ෆ් සිර භාරයට ගන්නා ලදී. දෙදිනක් සැඟවී සිටි හිට්ලර්ද අනතුරුව පොලිසියට භාර විය.
රාජද්‍රෝහී චෝදනා මත යුදඅධිකරණයක් හමුවට ඉදිරිපත් කරනු ලැබූ හිට්ලර් සිද්ධියේ සම්පූර්ණ වගකීම භාර ගත්තේය. සෙස්සන් කලේ තම අණ පිළිපැදීම පමණක් බව හේ පැවසීය. ජනරාල් ලුඩොන්ඩෝර්ෆ් ද සිය අණ යටතේ ක්‍රියා කල බවට හැඟවීමෙන් ලද අවස්ථව නිසා ඔහු මහත් ප්‍රමෝදයක් ලද බවට සැක නැත.

විශේෂ සමාවක් මත නිදහස ලැබූ හිට්ලර් සිර ගත කොට සිටි බලකොටුවෙන් නික්ම යාමට පෙර (1924 දෙසැම්බර්)
විශේෂ සමාවක් මත නිදහස ලැබූ හිට්ලර් සිර ගත කොට සිටි බලකොටුවෙන් නික්ම යාමට පෙර (1924 දෙසැම්බර්)

එහෙත් ප්‍රාදේශීය නායකයන් තමාම මුල්වූ ‘විප්ලවයට’ ද්‍රෝහී වූ බවත් ඔවුන් අධිකරණය හමුවට කැඳවිය යුතු බවත් හේ ඉල්ලා සිටියේය.
සිනාව මැඩගත් හමුදා විනිසුරෝ එකිනෙකා ලෙස යටැසින් බලමින් ඉඟි මැරූහ. කියන කතාව සැබෑවකි. මෙම කදිම තරුණයාට වරදක් වනු දැකීමට ඔව්න්ද අකැමැතිය. ජනරජය වෙනුවෙන් පැමිණීලි ගොනු කල පොලිසිය ඔස්ට්‍රියන් පුරවැසියෙකු වන විත්තිකරු රටින් නෙරපන මෙන් ඉල්ලීමක් කලද හිට්ලර් පලමු ලෝක යුද්ධයේ ජර්මනිය වෙනුවෙන් ලේ හලා සටන් කල යකඩ කුරුස පදක්කම් ලාභියකු වන හෙයින් එසේ අකෘතඥ විය නොහැකි බව ඔවුන් පෙන්වා දුන්නෝය. එස්. ඒ සංවිධානය තහනම් කෙරුනද මරණ දඬුවම පවා ලබා දිට හැකි රාජ ද්‍රෝහී චෝදනාවට හිට්ලර්ට ලබාදෙන ලද්දේ පස් අවුරුදු ලිහිල් සිර දඬුවමකි. ලුඩොන්ඩෝර්ෆ් නිදහස් කරන ලදී. බල කොටුව්ක සුව පහසු කාමරයක සිර කරන ලද ඔහු බැලීමට දවසේ ඕනෑම වේලාවක අමුත්තන්ට පැමිණිය හැකි විය. ඔහුට පුස්තකාල පහසුකම් හා ව්‍යායාම ගැනීමේ පහසුකම් පවා ලබා දෙන ලදී.
පිටිවහලේ කෙමෙන් සුවය ලබමින් සිටි සිය ස්වාමියාගේ සුභ පැතුම් ද රැගෙන කැරින් ගෝරින් සිටුවරිය ද ඔහු බැලීමට පැමිණීයාය.
මෙතෙක් සටන්පාඨ ඔස්සේ සමාජ ගත කෙරුන නාසිවාදය න්‍යායාත්මකව හැඩ ගැන්වීමකට බඳුන් වූයේ මෙම කාලයේදීය. ඊට වැඩිම දායකත්වය සැපයුනේ හිට්ලර් සමඟ දැන් එකට සිරබත් කෑ මියුනික් සරසවියේ හිටපු භූ දේශපාලන සිසු රුඩොල්ෆ් හෙස් විසිනි. ජර්මන් ජාතියේ අනාගත පැවැත්ම සඳහා නැගෙනහිර භූමි අත්පත් කොටගෙන යුතුයයි හිට්ලර් සිර මැදිරියේ සිට රචිත නාසි වාදයේ බයිබලය ලෙස සැලකිය හැකි ‘මගේ සටන’ කෘති මගින් ඉදිරිපත් කල අපූරු න්‍යායේ මුල් අයිතිකරු වන්නේ විශ්ව විද්‍යාලයේ හෙස්ගේද ඇදුරාය. ඉහල යන ජනගහනය පෝෂණය කිරීමට අන් මඟක් නොමැති බවත්, උපත් පාලනය තුලින් වන්නේ ජාතිය දුර්වල වීම බවත්, අනිත් විකල්පය වූ යටත් විජිත වෙළඳාම ජර්මනියට තරම් නොවන බවත් හිට්ලර්ගේ මතය විය. “ජර්මනිය කොහොමටත් සාප්පුකාර ජාතියක් නෙවි.” ඔහු ලීවේය.
හිට්ලර් සිරගතව සිටියදී නාසි පක්ෂය භේද බින්න විය. ඇතැම්හු සංවිධානයෙන් ඈත් වූහ. තමා නොමැතිව පක්ෂය ඉදිරියට යාමට වඩා දුර්වල වීමට ඉඩ හැර තමා විසින්ම පසුව ප්‍රතිසංවිධානය කිරීම වඩා ගුණදායක බව හිට්ලර් දැන සිටියේය.
හය මසකට පසුව විශේෂ සමාවක් මත ඔහු නිදහස් කරන ලදී.
1924 දෙසැම්බරයේ සිය නායකයා රැගෙන යාම සඳහා හිම කුණාටු අතරින් ලෑඩ්ස්බර්ග් බලකොටුවට ඇදී ආ මෝටර් රථයකි. මහත් ආත්ම විශ්වාසයෙකින් යුතුව ඊට නැඟුනේ නොමේරූ විප්ලවවාදියෙක් නොවේ. තිස් පස් වියේ පසුවූ පරිණත දේශපාලඥයෙකි.

චාමර සිරිවර්දන

Submit your review
1
2
3
4
5
Submit
     
Cancel

Create your own review

හිට්ලර් නම් විප්ලව වාදියා (1920-1924)
Average rating:  
 0 reviews

2 Replies to “5. හිට්ලර් නම් විප්ලව වාදියා (1920-1924)”

  1. If something goes to make a change with marvelous, “storyteller” is going to be done that throughout the Sri Lankan hearts with more perfect ideas, stories and articles which are going to give something to the brain as well as their imotions. Best of Luck Storyteller 😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *