6. හිට්ලර් නම් දේශපාලකයා (1925-1933)

හිට්ලර් නම් දේශපාලකයා (1925-1933)

රජයේ වියදමින් ලද ප්‍රීතිමත් නිවාඩුවකට සම කොට හැකි සිර දඬුවම අතරතුර සිය ගමන් මග ආවර්ජනය කිරීමටද හිට්ලර්ට මහඟු අවස්ථාවක් උදා විය. ඇතමුන් මෙහිදී බොරදියේ මාළු බෑමට තැත් කරනු ඔහු නුදුටුවා නොවේ. තහනම් කරන ලද එස්. ඒ. සංවිධානය වෙනත් නමකින් යලි රැස් කිරීමට රොම් දැරූ උත්සහාය වැලැක්වූ ඔහු, විප්ලවයකින් බලය අත්පත් කොට ගැනීමේ අදහස එපමණකින් අත් හලේය. දීර්ඝ වුවද ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මඟ වඩාත් හිතකරය. එදා බීර හලකට කඩා වැදී තමා කරගත්තේ මහ මෝඩ කමකැයි ඔහුට දැන් සිතේ. ඒ සියල්ල නිවරද කොට ගැනීමට කාලය එලඹ ඇත.
තමා රජයට විරුද්ධ නැති බවත් තම අරමුණ කොමියුනිස්ට් උවදුරට එරෙහිව බවත් සහතික වෙමින් පක්ෂයට පැනවී තිබූ තහංචි ඉවත් කරවා ගත් හිට්ලර් දෙවනුව ලුඩොන්ඩෝර්ෆ් ප්‍රමුඛ ජාතිවාදි බලවේග වලින්ද තරමක් දුරස්ථ විය. කටින් බතල කොල හිටවීම ඇර අන් යමක් ඔවුන්ට කල නොහැකි බවද, ඔවුන් තමා කරත්තයෙහි හිඳුවා ලූ බවද ඔහු පසක් කොට ගත්තේය. නාසි පක්ෂය අළුත් ගමනක් යා යුතු බවට ඒත්තු ගත් ඔහු එස්. ඒ. සංවිධානය ද අතේ දුරින් තබා ගැනීමට ඉටා ගත්තේය. දැන් ඔහුට ආරක්ෂාව සැපයූවේ ද එස්. එස්. (ආරක්ෂක කණ්ඩායම යන අරුත දේ) නැමති කළු නිල ඇඳුම් හැඳගත් අළුත පිහිටවූ විශේෂ බල ඇණියක් විසිනි. අමනාපයට පත් කපිතන් රොම් ඉල්ලා අස්විය. “ඉන්න බැරි අය යන එක හොඳයි,” එය ඇසූ හිට්ලර් කීය.
පසු දා නාසි පුවත්පත් වල එක් අප්‍රධාන තීරුවක සඳහන් වූයේ කපිතාන් රොම් සෞඛ්‍ය හේතූන් මත තනතුරු වලින් මුදා හරින ලෙස නායකතුමාගෙන් ඉල්ලීමක් කොට ඇති බවයි.
හිට්ලර් ඇතුළු දකුණේ ජාතිවාදින් සිරගතව සිටි අතරතුර බලවත් වූ ග්‍රෙගෝ ස්ට්‍රැසර් ඇතුළු පක්ෂයේ උතුරු දිග කණ්ඩායම ද මහා ඉඩම් හිමියන්ගේ පෞද්ගලික දේපොල අයිතිය පිළිබඳ හිට්ලර්ගේ නව ප්‍රතිපත්ති නිසා පසු වූයේ නොපහන් සිතිනි. ප්‍රොතස්තන්ත උතුරු ජර්මනිය කවදත් වමට බරය. එහෙත් ඔවුන්ගේ ප්‍රධාන කථිකයා වූයේ දර්ශණය පිළිබඳ විශ්ව විද්‍යාල උපාධිධාරියකු වූ පෝල් ජෝසොප් ගොබ්ල්ස් නම් පුළුල් නලලකින් හා ගිරා ගොටක් බඳු නාසයකින් යුත් කෙසෙඟ තරුණයෙකි. බටහිර රයින්ලන්ත වැසියෙක් වූ ඔහුගෙන් පලවූ ලතින් ශෛලිය අතිශය තියුණුය. සුළු ධනපති හිට්ලර් පක්ෂයෙන් නෙරපා දැමිය යුතු යයි ඔහු තරයේ කියා සිටියේය!

මෙවැනි උඩඟු ගැටවරයන්ට පිළිතුරු බඳින්නෙක් නෙවේ දැන් හිට්ලර්. ඔහු කලබල නොවී සියළු පක්ෂ සංවිධායකයන්ගේ රැස්වීමක් කැඳවූයේ උතුරේ සංවිධායකයන් සහභාගී වීමට අපහසු දිනයකය. ඔවුන්ට මුලින් සංග්‍රහ කොට අනතුරුව ඔහු තම වැඩපිළිවෙල නිවිහැනහිල්ලේ පැහැදිලි කලේය. ඉඩම් හා කර්මාන්ත හිමියන් අමනාප කොට ගත නොහේ. පක්ෂයට අරමුදල් සපයන්නේ ඔවුන්ය. එහෙත් තමාටද ඒ දිනවල වැන්දඹු ආදිපාදවරියකගෙන් මසකට මාර්ක් එක්දහස් පන්සියයක දීමනාවක් ලැබෙන බවක් ඔහු හෙළි නොකලේය.
උතුරේ වාමාංශිකයන්ගේ හඬ හිට්ලර්ට සහය පල කරමින් මොර දුන් දකුණේ ජාතිවාදීන්ගේ සටන් පාඨ හමුවේ යටපත් විය.

“නායක තුමා නිවැරදි බව මට තේරුම් ගියා. අපි එතුමාට සහයෝගය දෙමු.” උපාධිධාරී ජෝසොප් ගොබ්ල්ස් ද හදිසියේම පිල් මාරු කළේය. එතැන් පටන් හිට්ලර් අසලින් හෙල්ලුනේ වත් ඔහු නොවේ. බහුතරය හිට්ලර්ගේ පැත්ත ගත්තෝය. එදා ගොබෙල්ස් රැස්වීම අවසන්ව දුම්රිය පොලට හැරලන ලද්දේ හිට්ලර්ගේ මොටෝ රථයෙනි. ආපසු ගොස් නායකතුමා තමාට සැලකූ අන්දම පිළිබඳ පුර සාරම් දොඩමින් සිටි ගොබ්ල්ස්ට තමා පක්ෂයේ ප්‍රධාන ප්‍රචාරක නිළධාරියා ලෙස පත් කොට ඇතිබව අසන්නට ලැබිණ … ඉතිරිය අනවශ්‍යය.
කලවයකට වෙඩි වැදී රටින් පලා ගොස් සුවය ලබා සිටි හර්මන් ගෝරින් රජය විසින් ප්‍රදානය කෙරුන පොදු සමාවක් යටතේ යලි ජර්මනිය කරා පැමිණ බර්ලින් නුවර තට්ටු නිවෙසක පදිංචි වුනේ මේ අතරය. ඔහුට තම සිටුවර බිරිය හේතුවෙන් ඉහල සමාජය හා බොහෝ දැන හැඳුනුම් කම් තිබිණ. බොහෝ දුරට මඬ්‍යම හා පහල පංති අතර පමණක් ව්‍යාප්ත වූ පෙරලිකාරී නාසි පක්ෂයට ප්‍රභූ සමාජය තුල ශක්තිමත් පදනමක් ගොඩ නැගුනේ ගෝරින්ගේ මෙම සබඳතා ඔස්සේය. සිය දකුණත බඳු සගයාගේ ආගමනය හිට්ලර්ට ලොකු හයියකි.
එහෙත් තහනම ඉවත් කරනු ලැබූ එස්. ඒ. සංවිධානය භාර ගැනීමට ගෝරින් මැලි විය. හිට්ලර් සමඟ ගෝරින් ගේ ඇති ඇයි හොඳයියට කැරින් හෝ සිටු පවුල තුල එතරම් මනාපයක් නැත. එහෙව් එකේ විනයක් නැති මැර කල්ලියක නායකයා ලෙස ස්වීඩනයේ තමාට ලැබෙන බිහිසුනු ප්‍රසිද්ධිය සිය පවුල පවා දෙදරා යාමට හේතු විය හැකි වග නුවණැති ගෝරින් දත්තේය. පක්ෂය පාර්ලිමේන්තු ක්‍රමයට නැඹුරු වීම නොරිසි එස්. ඒ. භටයන්ට උවමනා කළේ විප්ලවයකි. ඡන්දයට ඔන්න මෙන්න තිබියදී වැඩි වැටුප් ඉල්ලා කලබළ කල ඔවුහු පක්ෂ මූලස්ථානයටද හානි කළහ. එන පොට හොද නැති බව තැරුම් ගත් හිට්ලර් තකහනියක්ම විදුලි පුවතක් යවා බොලිවියාවේ යුද උපදේශකයකු ලෙස සේවය කල සිය පැරණි මිතුරා වන රොම් ආපසු ගෙන්වා ගත්තේය. රොම්ට පැවරුන වගකීම වූයේ එස්. ඒ. බලඇණිය ප්‍රතිසංවිධානය කිරීමය. මොන ගැටළු තිබුනද රොම් කවදත් හිට්ලර්ගේ හිතවත් මිතුරෙකි.
1928 දී රයික්ස්ටැග් හෙවත් ජර්මන් පාර්ලිමේන්තු ගැබට නාසි සභිකයෝ 12ක් තේරී පත්වූහ. හිට්ලර් පාර්ලිමේන්තු නොගියේය. චාන්ස්ලර් තනතුරින් මෙපිට අසුනක් ඔහුට ඔට්ටු නැත. මංත්‍රී කණ්ඩායම් නායකත්වය ඔහු ගෝරින් ට භාර කලේය.
මේ අතර යුද වන්දි ගැටළුව යලි ඉස්මතු විය. මෙහි පෙරමුණ ගත්තේ දක්ෂිණාංශික ජාතිවාදියෙකු වූ ඇල්ෆ්‍රඩ් හියුජන්බර්ග් නම් ධන කුවේරයාය. පුවත්පත් ඒජන්සි ගණනාවකට හිමි ඔහුගේ ජාතිකවාදී පක්ෂයට යහමින් මිල මුදල් තිබුනද කථිකයන් හෝ ජනතා සහායක් නැත. නාසි පක්ෂය හරහා සෙනඟ එක් රැකල හැකි බව සිතූ ඔහු උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීම සඳහා තමා හා එක්වන මෙන් හිට්ලර්ට ආරාධනා කළේය. බීර හලේ විප්ලවයෙන් පසු සෙසු පක්ෂ හා වැඩි ඇඟෑළුම් කමට නොයන හිට්ලර් මීට එකඟ වූයේ හියුජන්බර්ග් සතු දැවැන්ත දේශපාලන අරමුදල හා ප්‍රචාරක ජාලය දුටු නිසාය. අනිත් අතට හිසරදයක් වෙමින් පැවති එස්. ඒ. භටයන් යෙදවිම සඳහා කාර්යයක් හා ඔවුන්ගේ නඩත්තුවද එමගින් ආවරණය විය.
ස්වස්තික ධජ සහිත එස්. ඒ. භටයන් පෙරටු කොටගත් විරෝධතා රැලි පුරා හය මසක් පවතිණ. ඒ සෑම ස්ථානයකම ප්‍රධාන කථිකයා වූයේ හිට්ලර්ය. සිය වියදමින් හා මාධ්‍ය හරහා හිට්ලර් පුද්ගලික ප්‍රචාරයක් ලබා ගත් බව හියුජන්බර්ග් අවබෝධ කොට ගන්නා විට බොහෝ ප්‍රමාද වැඩිය. ආධාර කිරීමට බොහෝ ව්‍යාපාරිකයන්ද ඉදිරිපත් වීම හේතුවෙන් නාසි පක්ෂයේ අරමුදලද නොසිතූ ලෙස තර විය.

පැරණි මාලිගාවක් මියුනික් නුවරින් මිලට ගත් හිට්ලර් එය පිළිසකර කොට (එය සිය පෞද්ගලික නිවස ලෙස යොදා නොගෙන) එහි නව පක්ෂ මූලස්ථානය පිහිටවීය. මින් ඉදිරියට ඔහු අමුත්තන් පිළිගත්තේ මහා ෆෙඩ්රිාක් රජුගේ රුව එල්ලූ විශාල ශාලාවක සිටයි. උද්ඝෝෂණය අවසන් වන විට මෙතෙක් බැවෙරියාවේ ප්‍රාදේශීය දේශපාලඥයෙක් පමණක් වූ හිට්ලර් දැන් රටම දන්නා ජාතික තලයේ චරිතයකි.
1930 ලෝක ආර්ථික අවපාතය ජර්මනියට තදින් බලපෑවේය. විරැකියාව උත්සන්න විය. කෘෂි මිල පහත වැටිණ. උද්ධමනය ඉහල ගියේය. මධ්‍යම පංතියට සිය ඉතුරුම් අහිමි විය. දේශපාලන අර්බුද හේතුවෙන් මැතිවරණයක් ද කැඳවා තිබිණ. “ මේ පාර ආසන 50 ක් වත් දිනා ගන්න බැරි උනොත් වැඩක් නැහැ,” හිට්ලර් ගෝරින් සමඟ කීය.
නාසි ඡන්ද ව්‍යාපාරය සෙසු සියළු දේශපාලන පක්ෂ වලට වඩා සිත්ගන්නා සුළුය. යෝධ ස්වස්තික ධජ දසත ලෙළදේ. එස්. ඒ. භටයෝ අචාර පෙළපාලියේ ගමන් කරති. බිත්ති පෝස්ටර් හා සටන් පාඨ වලින් වැසී ගොසිණි. මහජනයාගේ ආකර්ෂණය දිනා ගැනීමට කරුණු පැහැදිලි කිරීමට වඩා ප්‍රදර්ශනය වැදගත් බව හිට්ලර් දැන සිටියේය.
මැතිවරණ ප්‍රතිඵලය අවසානයේ නිකුත් විය. මොන 50ක් ද? නාසි පක්ෂයට ආසන 107ක් හිමි විය.
එහෙත් විටෙක අභාග්‍ය කඩා පාත්වෙන්නේ වැහි නැති අකුණු මෙනි.
හිට්ලර් අතිශය ඇළුම් කල සුළු ලේලියක් වූ විසි හැවිරිදි ගෙලී රවුබාල් මියුනික් නුවර ඔහු නැවතී සිටි මහල් නිවසේ කාමරයක ඔහුගේම පිස්තෝලයෙන් දිවි නසාගෙන සිටියාය. ඉගෙනීමේ කටයුතු සඳහා මියුනික් නුවරට පැමිණ සිටි ඈ කලෙක පටන් නතර වී සිටියේ එම නිවසේය. පසු කාලයේ බොහෝ විට ඈ සිය මාමා සමඟ ප්‍රසිද්ධ ස්ථාන වල පෙනී සිටියාය. ඔවුන් අළලා කට කතා ඇතිවීමට මෙය එක් හේතුවකි. ඔවුනතර සම්ප්‍රදායික ඥාති බැම්මෙන් තොර කිසියම් චමත්කාරී සමීප බවක් තිබූ වග පැහැදිලි මුත් එය ඔහුගේ සතුරන් පැවසූ අන්දමේ අසම්මත දීගයක් යැයි නිගමනය කිරීමට තරම් සාධක නොමැත.
ගෙලී රවුබාල් විනෝදකාමී හා සමාජශීලී තරුණියක් වූ බවත් ඇගේ නිදහස හිට්ලර් ඉතා නිර්දය ලෙස සීමා කළ බවත් ඇතැම්හු පවසති. මෙය සත්‍යක් විය හැක. ඈ කොතෙක් ආශා කලද වියානාවේ සංගීත පාසලට යාමට ඔහු ඈට ඉඩ නුදුන්නේය. මරණය සිදුවූ දා දහවල් කිසියම් හේතුවක් මත දෙදෙනා දබර කරනු ඇසුන බව සේවිකාවෝ රහස් දෙඩුවද, එය හුදෙක්ම විනය ගැටළුවක් වීමට ඉඩ තිබේ. නැතහොත් හුදු ඕපාදූපා විය හැක.
ඒ කොයි හැටි වෙතත් ගෙලී ගේ මරණය හිට්ලර් තුල දැඩි කම්පනයක් ඇත කල බව සැබෑය. ඇගේ අවමඟුලට පවා සහභාගී නුවූ ඔහු කාමරය තුලට වී දින ගණනාවක් වැලපුනේය. ඔහු ද දිවි නසාගනු ඇතැයි බිය වූ සමීප අනුගාමිකයෝ අසලින් මොහොතකට හෝ නොසෙල්වුනහ.

විශේෂ සාකච්ඡාවක් සඳහා ජර්මන් ජනාධිපති පෝල් වොන් හින්ඩන්බර්ග් හමුවීම සඳහා පැමිණෙන්නයි හිට්ලර්ට කැඳවීමක් ලැබුනේ මේ අතර වාරයේදීය. පළමු ලෝක යුද්ධයේ ෆීල්ඩ්-මාෂල් වරයකු හා ඉඩම් හිමි ‘ජුන්කර්’ වරයකු වූ අසූ හතර හැවිරිදි හින්ඩන්බර්ග්ට නාසි පක්ෂය නොරිසි වුවද ඔවුන් සතු පාර්ලිමේන්තු ආසන 107 අගය නොතකා හැරිය නොහැකි වගද, ඔවුන්ගේ සහායෙන් තවත් ජනාධිපතිවරණයකින් තොරව ධුර කාලය දීර්ඝ කොට ගත හැකි බවද ඔහුගේ කපටි උපදේශකයා වූ මේජර් ජනරාල් කර්ට් වොන් ශ්ලයිකර් පෙන්වා දුන්නේය.
මේ කැඳවීම ලද හිට්ලර් කලබල විය. ප්‍රභූ වරුන් හා සාකච්ඡා වලට සහභාගී වීමේදී ගෝරින් ලඟම සිටිය යුතු අත්‍යවශ්‍ය පුද්ගලයෙකි. එහෙත් ගෝරින් සිටියේ ස්වීඩනයේ සිය දයාබර බිරිඳට ඇප උපස්ථාන කරමිනි. හිට්ලර් ගේ විදුලි පුවත ගැන ඇසූ නිව්මෝනියා රෝගයෙන් ඔත්පොල ව සිටි කැරින් ගෝරින් සිටුවරිය වහා එහි යන මෙන් සිය ස්වාමියාට බල කොට සිටියාය. ගෝරින් තමා අසලට වී තැවී තැවී සිටීම ඈට දරාගත නොහැක.
එහෙත් සාකච්ඡා සාර්ථක වූයේ නැත. හිට්ලර් කෙරේ පැහැදීමක් ඇති කොට නොගත් ජනාධිපති හින්ඩන්බර්ග් ඔහුට හිඳ ගැනීමට පුටුවක් පවා පිරි නොනැමුවේය. හිට්ලර් පිටව ගිය පසු සාකච්ඡාවේ කපුවා වූ මේජර් ජනරාල් ශ්ලයිකර්ට අසන්නට සිදුවූයේ කුණු බැනුම් ය. “ මේ වගේ පිස්සො ගේනවද සාකච්ඡා වලට? අනික කවදාවත් චාන්ස්ලර් වෙන්න පුළුවන් මිහිහෙකුත් නෙවෙයි. වැඩිම උනොත් ඕන නම් තැපැල් ඇමති කම දෙන්න පුළුවන්…”
හින්ඩන්බර්ග් කෝප වීමට හේතු වූ අනෙක් කරුණ වූයේ නාසි පක්ෂය දැක්වූ ගරු සරු නැති ආකල්පයයි. දක්ෂිණාංශය තමාට කොන්දේසි පැනවීම ඔහුට නොරිසිය. එහෙයින් ඔහු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ අභියෝගය භාර ගැනීමට තීරණය කළේය. නාසි පක්ෂයෙන් නාම යෝජනා භාර දුන්නේ හිට්ලර්ය.

Image may contain: 3 people, people standing and suit
අභ්‍යන්තර ඇමති ෆ්‍රික් (වමේ) චාන්ස්ලර් හිට්ලර් (මැද) හා කාර්ය නියමයක් නොමැති ඇමති ගෝරින් (දකුණේ) – 30.01.1933

ගොබ්ල්ස් විසින් මෙහෙයවන ලද ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය එතෙක් මෙතෙක් ජර්මනිය නොදුටූ විරූ අත් දැකීමකි. රට පුරා ජනරැලි සංවිධානය කෙරිණ. හිට්ලර්ගේ කථාවක් ඇතුලත් තැපෑලෙන් යැවිය හැකි ග්‍රැමෆෝන් තැටියක් පවා නිර්මාණය කරන ලදී. සතියක ප්‍රචාරක වියදම පමණක් මාර්ක් දෙලක්ෂය ඉක්මවීය. එස්. ඒ. සංවිධානය ද බරටම වැඩ කලේය. පක්ෂය බලයට පත්වීමෙන් තමාටද කලක් යනු ඇති බවට රොම් පොරොන්දු වූවා නොවේද? හිට්ලර්ගේ කොමියුනිස්ට් විරෝධී අදහස් කෙරේ පැහැදුන කර්මාන්ත හිමියෝ ද නොමසුරුව ආධාර කළහ. වෘත්තිය සංගම් හිසරදය හා කම්කරු අරගලට හොඳම බෙහෙත හිට්ලර් බව ඔවුන් සිතයි.
මේ අතර ‘පියා සලන හිට්ලර්’ යනුවෙන් ගොබ්ල්ස් නව ප්‍රචාරක තේමාවක් හඳුන්වා දුන්නේය. හිට්ලර් ජර්මනියේ නගරයක් පාසා ගමන් කලේ ගුවන් යානයකිනි. ඔහු සතියක් තුල යෝධ රැස්වීම් විස්සක් හරහා කෝටියකට වැඩි ජනකායක් ඇමතීය. අයහපත් කාලගුණය නිසා ගුවන් ගමන් අත්හිටවූ එක්තරා දිනෙක පවා ඔහු බටහිර ජර්මනියේ රැස්වීමක් ඇමතීම සඳහා වැහි කුණාටුවක් මැද පියාසර කළේය. ජර්මනියට අවශ්‍යම පුද්ගලයා පහල වී ඇතැයි නාසි පුවත් පත් මොර දුන්හ.
මේ අතර ඔත්පොල වූ කැරින් ගෝරින් සිටුවරිය අවසන් හුස්ම හෙළුවාය. ස්වීඩනයේ පැවති ඇගේ අවසන් කටයුතු වලා සහභාගී වීමට හිට්ලර්ට නොහැකි වූයේ කාර්ය බහුල වූ නිසාය. අසරණ ගෝරින් ඒ දින වල පසුවූයේ ඇඬු කඳුලෙනි.
ජනාධිපතිවරණයෙන් පැහැදිලි බහුතරයක් සහිතව හින්ඩන්බර්ග් තේරී පත්විය. හිට්ලර් ගේ ඡන්ද පදනමද විසි ලක්ෂයකින් ඉහල ගොස් තිබිණ. සිය ප්‍රතිවාදියා සුළු පටු චරිතයක් නොවන වග හින්ඩන්බර්ග්ට දැන් දැන් පෙනේ. එහෙත් එස්. ඒ. හමුදාවේ නොහික්මුන හැසිරීමත් ඔහුට කොහෙත්ම රුචි නැත. හිට්ලර්ට හීන් දාඩිය දැම්මේ හදිසි අවස්ථාවක බලය අල්ලා ගැනීම සඳහා කෙරුන සැලසුමක් එස්. ඒ. කාර්යාලයක තිබී පොලිසිය විසින් සොයා ගත් බව ඇසූ විටය. ඔහු හාංකවිසියක් ඒ ගැන නොදැන සිටියේය. ජනාධිපතිවරණයට දින හතරකට පසු එස්. ඒ. බල ඇණිය නැවතත් තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මෙවැනි පුද්ගලික හමුදා රටක් තුල පවත්වාගෙන යාමට ඉඩදීම තුලින් සිවිල් යුද්ධයක් හටගත හැකි බව බලධාරීන්ගේ අදහස විය.
රජයේ තීරණය පිළිගත් හිට්ලර් සියළු එස්. ඒ. සාමාජිකයන් වීථි වළින් ඉවත් වී පක්ෂ කාර්යාල වලට වාර්තා කළ යුතු යැයි නියම කළේය. මෙය රොම් ගේ සතුටට හේතු නොවුවත් හිට්ලර් එය ගණනකට ගත්තේ නැත. දුඹුරු කමිස කරුවන්ගේ වගකීමෙන් තොර ක්‍රියා ඔහුට දැන් හිසරදයකි.
හිට්ලර්ගේ මතය වූයේ වීථි සටන් වලින් ඉවත් වී පරිණත දේශපාලනයට පිවිසිය යුතු මොහොත එළැඹ ඇති බවයි. මැතිවරණය ක්‍රමය තුල පැහැදිලි අනාගතයක් දැකිය හැකිව තිබියදීත් නිකරුණේ මහමග චණ්ඩි කම් පා පොළිස් පොතේ නම ලියවා ගන්නේ මන්ද? අවසන් දෝෂාරෝපණය එල්ල වනු ඇත්තේ තමාටය.
එහෙත් ඔහු තම ශරීරාරක්ෂක බල ඇණිය වූ එස්. එස්. සංවිධානය වඩාත් පුළුල් කිරීමට අදහස් කලේය. ඒ වගකීම පැවරුනේ උද්යෝගිමත් තරුණ නායකයකු වූ හයින්රිච් හිම්ලර්ටය.
රජයේ කම්කරු අණ පණත් හේතුවෙන් ඉඩම් හිමියෝ හා කර්මාන්ත අධිපතීහූ අමනාපයෙන් පසු බන හෙයින් ඉල්ලා අස්වන ලෙස සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති හින්ඩන්බර්ග් විසින් චාන්ස්ලර් බෲනින් ට දැනුම් දුන්නේ 1932 මැයි මාසයේදීය.
නව චාන්ස්ලර් ෆ්‍රාන්ස් වොන් පැපේන් හිටපු අසරු හමුදා නිළධාරියෙකි. කතෝලික වංශාධිපතියකි. හේ ධනවත් කර්මාන්ත හිමියෙකුගේ දුවක් හා විවාහ වී සිටියේය. ඒ හේතුවෙන් ඔහුට ජර්මනියේ පමණක් නොව ප්‍රංශයේ පවා ඉහල සමාජය සමඟ සම්බන්ධතා තිබිණ.
එහෙත් පැපේන්ගේ නව රජයට පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමට නාසි පක්ෂයේ සහයෝගය උවමනාය. හිට්ලර් කොන්දේසි ඉදිරිපත් කළේය. එස්. ඒ. හමුදාවේ තහනම ඉවත් කළ යුතුය; නව මැතිවරණයකට යා යුතුය.
අන් කළ හැකි දෙයක් නොවූයෙන් වොන් පැපේන් එකඟ විය. නව මැතිවරණය තුලින් තමාට සහාය දෙන පක්ෂ වලට බහුතරය දිනා ගත හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කළේය.
හිට්ලර් නැවතත් ජනාධිපතිවරයා හමුවට කැඳවන ලදී. ඔහු ගෝරින් ද පෙරටු කොටගෙන එහි ගියේ හවස් වරුවේය. එය ඉතා කෙටි හමුවකි. සම්පූර්ණ හමුදා නිළ ඇඳුමෙන් සැරසී සිටි යෝධ සිරුරක් සහිත මහල්ලා හදිසි බවක් පළ කළේය.
“මම හිතන් ඉන්නෙ චාන්ස්ලර් පදවියට හර් වොන් පැපේන් පත් කරන්න. එයාට පාර්ලිමේන්තුවේ බහුතරය ගන්න උදව් කරන්න ඔහේ කැමති උනා කියන්නෙ හැබෑද, හර් හිට්ලර්?”
“එහෙමයි උතුමාණනි.”
හමුව අවසන් විය. නාසි නායකයෝ දෙදෙනා සතුටු සිතින් පෙරළා පැමිණියහ. වීනීත අචාර පැවතුම් ඇති ගෝරින් හින්ඩන්බර්ග්ට ද ප්‍රියය.

මෙවර ගොබ්ල්ස් ගේ ඡන්ද ප්‍රචාරක වැඩපිළිවෙල වඩාත් ආකර්ෂණීයය. සුපුරුදු පරිදි හිට්ලර් ජර්මනියේ නගරයක් පාසා පියාසර කළේය. එක් රැස්වීමකට ඔහු පැමිණෙන විට අළුයම දෙකත් පසුවී තිබිණ. එහෙත් ඔහු එනතුරු දහස් ගණනක් මහ වැස්සේ තෙමෙමින් මඟ බලා සිටියහ.
මැතිවරණයෙන් නාසි පක්ෂයට ආසන 230ක් හිමිවිය. මෙය බහුතර රජයක් පිහිටුවීම සඳහා ප්‍රමානවත් නුවුවද ජනවරම අතින් ජර්මනියේ බලවත්ම දේශපාලන නායකයා වූයේ හිට්ලර්ය. චාන්ස්ලර් කමෙන් මෙහා කිසිවකට දැන් ඔහු සූදානම් නැත.
“හිට්ලර් අතට බලය දෙන්න? හොඳට හිටී. අනික මේ ඊයෙ පෙරේදා උඩින් පහත් උන විනයක් නැති පක්ෂයකට රටක් භාර දෙන්න පුළුවන්ද?” ඒ ඇසූ හින්ඩන්බර්ග් කෝපයෙන් මොර දුන්නේය.
තමාගේ සාමාන්‍ය පවුල් පසුබිම, අඩු‍යාධ්‍යාපන සුදුසු කම් හා පහළ හමුදා නිළය නිසා මේ වංශාධිපති ප්‍රභූන් තමාට ගරහන බව හිට්ලර් දනී. ඔහු මීට පිළිතුරු දුන්නේ පළමු සැසියේ දීම වොන් පැපේන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරි පත් කොට හදි කිරීමෙනි. ඒම නිසා තවත් මැත්වරණයක් කැඳවීමට සිදු විය.
එහිදී නාසි පක්ෂය සතු ආසන ගණන 196 ක් දක්වා අඩු වුවද. හිට්ලර්ගේ සහායෙන් තොරව ආණ්ඩු පිහිටුවීමට කිසිවෙකුට නොහැක.

තකහනියේ පණිවුඩයක් යැවූ ජනාධිපතිවරයා නැවත වරක් හිට්ලර් ගෙන්වා ගත්තේය. මෙවර විශේෂත්වය වූයේ ඔහු නාසි නායකයාට හිඳගැනීමට අසුනක් පැනවීමයි. දැන් හින්ඩන්බර්ග් ගේ සැර මඳක් බාල වී ඇත.
“හොඳයි, නාසි ව්‍යාපාරය තමුන්ගෙ නායකත්වය ඇති ආණ්ඩුවක සේවය සඳහා විතරක් යොදා ගන්නව කියල ඔහේ දෙන පොරොන්දුව මම පිළිගත්ත කියමු. පාර්ලිමේන්තුවේ සහාය ගන්න පුළුවන්ද?”
තමාට බහුතරයක් නැති බව කී හිට්ලර් යන්නට ගියේය.
ජනාධිපතිවරයා චාන්ස්ලර් ධුරය සිය කපටි උපදේශකයා වූ මේජර් ජනරාල් ශ්ලයිකර්ට පැවරීය. පාර්ලිමේන්තුවේ බලයක් නොවූයෙන් ශ්ලයිකර් ඉඩම් බෙදාදීම හා කම්කරු හිතෛශී අණ පණත් මගින් මහ ජනයා අතර ජනප්‍රිය වීමට උත්සහ ගත්තේය. ඉන් සිදුවූ එකම සන්තෑසිය නම් ජුන්කර් වරුන් හා කර්මාන්ත හිමියන් උරණ වීමයි.
දේශපාලනයේ සදාකාලික සතුරන් නැතැයි යන කියමන යලි ඔප්පු කරමින් 1933 ජනවාරි අග වොන් පැපේන් තම මිතුරෙකු ගේ නිවසේ හිට්ලර් හා රහස් හමුවක් යොදා ගත්තේය. ධනවත් වයින් ව්‍යාපාරිකයෙකු වූ මිතුරා දා අළුත් නාසි පාක්ෂිකයෙකි. ඔහුගේ නම ජෝකිම් වොන් රිබන්ට්‍රොප්ය; මෙම හමුවට ජනාධිපති ගේ නිළ ඇජුටන්ට් වරයා වූ ඔහුගේ එකම පුත් කල්නල් ඔස්කා වොන් හින්ඩන්බර්ග් ද පැමිණ සිටියේය.
කතා බහ යසට සිදුවිය. හිට්ලර්ට චාන්ස්ලර් ධුරය පිරිනැමීමට ජනාධිපති දැන් විරුද්ධ නැති බව ඔස්කා හින්ඩන්බර්ග් කියා සිටියේය. එහෙත් කැබිනෙට්ටුව පත් කරන්නේ ජනාධිපති ය.
අනතුරුව පවැත්වුනේ ඔස්කා හා හිට්ලර් අතර පුද්ගලික සාකච්ඡාවකි. එහි කතාබහ වූයේ කුමක්දැයි දන්නේ ඔවුන් හැරුනු කොට දෙවියන් පමණි. එහෙත් එය අවසන් වූ මොහොතේ පටන් ඔස්කා හැමවිටම හිට්ලර්ගේ පැත්ත ගත් වග නම් සෙස්සෝ මැනවින් දුටූහ. ඔස්කා හින්ඩන්බර්ග් විපතට පත් ඉඩම් හිමියන්ට ආධාර කිරීමේදී වූ එක් අයථා ගණුදෙනුවට පැටලී සිටියේය. සිය පියාගේ අසූවන ජන්ම දිනය වෙනුවෙන් ජුන්කර් වරු විසින් තෑගි කල ඉඩම් අක්කර පන්දහසක් ලියා පදිංචි කොට ඇත්තේ ඔහුගේ නමිනි. එහෙත් ඒ වෙනුවෙන් ශතයක් හෝ ආදායම් බදු ගෙවා නොමැත.
පිළිකා රෝගයෙන් පීඩා විඳින ජනාධිපති හින්ඩන්බර්ග් ද මෑතක සිට නිතර නිතර අසනීප වෙයි. කපටි උපදේශක ශ්ලයිකර්ට චාන්ස්ලර් තනතුර පිරිනැමීම වරදක් බව ඔහුට වැටහෙන්නේ දැන්ය. පාර්ලිමේන්තු බලය නැති හෙයින් හමුදාවේ සහායෙන් රජය කරගෙන යාමට ශ්ලයිකර් තැත් කරන වගක් ඔහුටද හැඟී ගොස් ඇත. මෙය සිවිල් යුද්ධයකට පවා තුඩු දිය හැකි තත්වයකි.
මෑතදී සේවයෙන් ඉවත් වී ස්විට්සර්ලන්තයේ වාසයට ගිය කීර්තිමත් හමුදා නිළධරයකු වූ ජෙනරල්ෆීල්ඩ්මාෂල් වර්නර් වොන් බ්ලොම්බර්ග්ට පණිවුඩයක් යැවූ ජනාධිපතිවරයා වහා පැමිණ යුද ඇමති තනතුර භාර ගන්නැයි දන්වා සිටියේය. හමුදාව බ්ලොම්බර්ග්ට අවනතය.
1933 ජනවාරි තිස් වැනිදා දහවල් හිට්ලර් නැවත ජනාධිපති මන්දිරයට කැඳවන ලදී. යමන් සිදුවෙන බව ඉවෙන් මැන් හැඟුන පාක්ෂිකයෝ ගොඩනැගිල්ල අවට රැස් කති.
සිය අසනීප ගතිය මොහොතකට මැඩගත් හින්ඩන්බර්ග් තේජාන්විත ලෙස උඩු රැවුල නැටවීය.
“තේරෙනවනෙ තියන තත්වෙ? චාන්ස්ලර් පදවිය එක්ක ඕන නම් තව කැබිනට් ඇමති කම් දෙකක් දෙන්නම්. ඒකත් ඔය ගෝරින්ල වගේ අයට” කැබිනෙට්ටුවේ ඉතිරි අය තෝරන්නෙ මම. ආරක්ෂක ඇමති දැනටම පත් කරල ඉවරයි. අපේ මේ හර් වොන් පැපේන් උප චාන්ස්ලර් හැටියට ඉඳගෙන වැඩ ටික හෙමින් කියා දේවි…”

හිට්ලර් ජර්මනියේ චාන්ස්ලර් පදවියට පත් වූ බව දැක්වෙන පුවත් සිරස්තලයක් (31.01.1933)

වොන් පැපේන් ද අසලක සිට වැදගත් ලෙස හිස සලයි. කතාව ඇත්තය; හිට්ලර්ට ගම් සභා මන්ත්‍රීවරයකු ලෙස හෝ පළ පුරුද්දක් නැත.
“ඔබතුමා කැමති විදිහක් …” හිට්ලර් පැවසීය. මොන දේටත් පටන් ගැන්මක් තිබිය යුතුබව ඔහු ද දනී.
හිටපු හමුදා කෝප්‍රල් ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ නව චාන්ස්ලර් වරයා ලෙස දිවුරුම් දුන්නේය. සෙස්සෝ ජනාදධිපති විසින් පත් කරනු ලැබූහ. උප චාන්ස්ලර් හා ප්‍රසියාවේ සභාපති වොන් පැපේන්ය. ‘ප්‍රභූ කැබිනෙට්ටුවේ’ විදේශ ඇමති ලෙස කොන්ස්ටන්ටින් වොන් නියුරාත් බැරන් වරයා තෝරා ගැණින. මුදල් ඇමති වූයේ වොන් ක්‍රොසිග්ක් සිටුවරයාය. හිට්ලර්ගේ පැරණි අනුග්‍රහාකයා වූ ගුට්නර් අධිකරණ ඇමති ධුරය දරයි.
නාසි පක්ෂයෙන් කැබිනට් නියෝජිතයන් දෙදෙනෙකි; කාර්ය නියමයක් නොමැති ඇමති ලෙස ගෝරින් නම් කෙරිණ. හිටපු පොළිස් නිළධාරියෙකු වූ විල්හෙල්ම් ෆ්‍රික් අභ්‍යන්තර ඇමති ලෙස දිවුරුම් දුන්නේය.
නොවිය හැකි දෙයක් සිදුව ඇත. ඔස්ට්‍රියාවේ උපත ලබා තරුණ වියේ වියානා නුවර අරමුණකින් තොරව රස්තියාදු වූ සුළු රේගු මුළාදෑණියකුගේ පුතෙක් ජර්මන් චාන්ස්ලර් පුටුවේ හිඳ ගෙන සිටී. එදා බොහෝ දෙනාගේ පැණය වූයේ මහජන චාන්ස්ලර් වරයෙක් හා සිටුවර කැබිනෙට්ටුවකින් සමන්විත මේ අපූරු රජය කොතෙක් කල් අල්ලා සිටිනු ඇත්ද යන්නයි.

චාමර සිරිවර්දන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *